ලංකාවේ කාන්තාවන් අතර සුලභතාවය අතින් දෙවැනි තැනට පත්වන ගැබ්ගෙල පිළිකා


වී.වෛද්‍ය ඉරේෂ් ජයවීර

MBBS.PG DIP.MD (Venereology-Sexual Health and HIV Medicine ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහන


2025 දි ලංකාවේ බෝ නොවන රෝග අතරින් පළමු තැනට පිළිකාව පත්වන ලකුණු. ලංකාවේ කාන්තාවන් මිලියන හතක් අවදානමේ.............................................


ගැබ්ගෙල යනු කුමක්ද?

ලංකාවේ කාන්තාවන් මිලියන හතකට පමණ ගැබ් ගෙල පිලිකා ව සැදිය හැකි බව ඇස්තමේන්තු කර ඇත. සැම වසරකදීම 950 පමණ කාන්තාවන් පිරිසක් ගැබ් ගෙල පිලිකා වෙන් අවසාන අවධියට පත්වීම නිසා ප්‍රතිකාර ගැනීමට පැමිනෙන අතරම 643 ක් ගැබ් ගෙල පිලිකාව නිසා මියයති. කාන්තා සෞඛ්‍ය පිලිබඳ ව කතා කිරීමේ දී, ගර්භාශය යනු නිතර ඇසෙන වදනකි.ගර්භාශයේ පහලම කොටස, යෝනි මාර්ගයේ ඉහල කොටසත් සමග සම්බන්ධ කරන කුඩා නමුත් වැදගත් ව්‍යුහය, ගැබ්ගෙලයි. සවිමත් සිනිඳු පේශි වලින් සෑදුනු ගැබ්ගෙල, මාසික ඔසප් රුධිරය පහලට එවමින් ද, සන්සර්ගයේ දී ශුක්‍රානු ගර්හාශය තුලට යැවීමට ද උපකාරි වේ. ගැබ් ගෙලේ ඇති විවරය අස්තරණය කරන අපිච්චද සෛල වල ඇතිවන වෙනස්කම් ගැබ් ගෙල පිලිකාව ට හේතු වේ.


ගැබ්ගෙල පිළිකාවට හේතුවන HPV (හියුමන් පැපිලෝමා වෛරසය)

Human Papilloma Virus (HPV) ආසාදනය යනු ගැබ්ගෙල පිලිකා වලට ප්‍රධානත ම හේතුවයි. HPV වෛරසයේ විවිධ ප්‍රභේද 100 ක් පමණ ඇති අතර, ලිංගික සංසර්ගය මගින් බෝවන ප්‍රධාන ප්‍රභේද වශයෙන් HPV 6,11,16,18 දැක්විය හැක. මෙයින් HPV 6,11 ප්‍රභේද ලිංගික ඉන්නන් ඇතිකරයි. ගැබ්ගෙල පිලිකාවට වැඩිමනත්ම හේතු වන්නේ 16,18 ප්‍රභේදයන් වේ. මිට අමතරව 31,33,34,45,52 සහ 58 ප්‍රභේදත් පිලිකා ඇති කරයි. බොහෝ කාන්තාවන්ට මෙම වෛරසය ආසාදනය වුවද වෙනත් වෛරස රෝග වල දී මෙන්ම ශරීරයේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය මගින් මෙම වෛරසයේ හානිකර ප්‍රතිවිපාක වලක්වන අතරම, ඇතැම් කාන්තාවන්ගේ තත්වය මීට වෙනස් ය. එනම් මෙම වයිරස අසාදනය වූ කාන්තාවන්ගෙන් 10% කට පමණ ඉතා දිගු කාලයක් තිස්සේ සෙමෙන් සෙමෙන් ගැබ්ගෙලෙහි සෛල වල සංයුතිය වෙනස් කිරීම නිසා ගැබ්ගෙල පිලිකා ව ඇතිවිය හැක. ඒ සඳහා වසර 10-15 ක් පමණ දිගු කාලයක් ගතවේ. මේ කාලය තුලදී ගැබ් ගෙල පරික්ෂා කිරීමෙන් පිලිකාව ආරම්භක අවදියේදීම පහසුවෙන් හඳුනා ගත හැක.තවද HPV මගින් යෝනි මාර්ගය, ගුද මාර්ගය, යෝනි විවරය ආශ්‍රිත පිලිකා සහ පිරිමින්ගේ ශිෂ්ණය ආශ්‍රිත පිලිකා ද සැදිය හැක.වසරකදී 4000 ක පමණ පිරිසක් ලිංගික ඉන්නන් සඳහා ප්‍රතිකාර ගැනීම සදහා රජයේ සායන වලට පැමිණිම මේ HPV රෝග සමාජයේ ව්‍යාප්ත වී ඇති බවට සාධකයකි. මෙම HPV වෛරසය ලිංගික සංසර්ගයකින් පමණක් නොව ලිංගික ස්පර්ශයකින්ද බෝවිය හැක. වෛරසය ශරීරයට ඇතුළුවී සති හෝ මාස හෝ අවුරුදු කීපයක් හෝ කල්ගතවීද රෝග ලක්ෂණ මතුවිය හැක.


රෝග ලක්ෂණ

ගැබ්ගෙල පිලිකාව මුල් අවදියේ දී රෝග ලක්ශණ කිසිවක් ඇති පෙන්නුම් නොකරයි. නමුත් පැතිරී අවසාන අවධියේ දී රෝගියා අත්දකින්නේ, යෝනි මාර්ගයෙන් සන්සර්ගයෙන් පසුව අසාමාන්ය රුධිර වහනයක් හෝ අසාමාන්ය දුගඳැති යෝනි මාර්ගික ස්‍රාවයක්, ආර්තවහරණය වූ කාන්තාවන්ට නැවත ඔසප් වැනි රුධිර වහනය්ක් ඇතිවීම, මාසික ඔසප් වීම් දෙකක් අතර කාලයේ දී රුධිර වහනය වැනි රෝග ලක්ශණ වේ. තවද පිලිකා රෝගියෙකු ට තිබියහැකි කෑම අරුචිය සහ ශරීරයේ බර අඩුවීම.


අවධානම් සාධක

ඉතා ලාබාල වයසක දී ලිංගික සබඳතා ආරම්භ කිරීම. බහු සහකරුවන් සිටීම හෝ සහකරු නිතර නිතර මාරුකිරීම. වෛරසය වැලඳීමට ඇති අවදානම වැඩි කරයි. ශරීරයේ ප්‍රතිශක්තිකරණය දුර්වල කරන තත්වයන් උදා. ඒඩ්ස් රෝගය දුම්පානය මෙවැනි පිලිකා හටගැනීම ට සෘජුව ම දායක වේ. ලිංගාශ්‍රිත රෝග වැලඳීම පවුලේ අයට ගැබ් ගෙල පිලිකා වැළදීම.


කල් ඇතිව හදුනා ගන්නේ කොහොමද ?

ගැබ් ගෙල පිලිකාව ගැබ් ගෙල පරීක්ෂණය හෙවත් පැප් පරීක්‍ෂණය මගින් පහසුවෙන් හඳුනාගත හැක. ගැබ්ගෙලෙහි ඇතිවන සෛලීය වෙනස්කම් පිලිකාවක් දක්වා වර්ධනය වනවා දැයි දැනගැනීමට ද, ඉතා මුල් අවදියේදී ම හඳුනාගෙන අවශ්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට මෙමගින් හැකිවනු ඇත. ලෝක සෞඛ්ය සංවිධානයේ නිර්දේශය අනුව නම්, සෑම කාන්තාවක්ම ජීවිත කාලය තුල එක්වරක් හෝ පැප් පරීක්ෂණයට සහභාගී ව තිබිය යුතුවේ.


පැප් පරීක්‍ෂණය කාටද?

ඔබ ලිංගික සබඳතා පවත්වන(ලිංගිකව සක්‍රිය) කාන්තාවක් නම් වයස 20 ට පසුව පැප් පරීක්ෂණය සිදුකරගැනීම සුදුසුය. එම pap පරික්ෂණය සාමාන්‍ය නම් ඉදිරියට සැම වසර 5 කට වරක් සිදුකිරීම සුදුසුය. ගැබ්ගෙල පිලිකා සඳහා වූ අවදානම් වයස් සීමාවේදී (20 -65) පැප් පරීක්ෂණය සිදුකරගැනීම ප්‍රයෝජනවත් වේ. ශ්‍රී ලංකාවේ සුව නාරි සායන, ලිංගාශ්‍රිත රෝග සායන හරහා pap පරික්ෂණය නොමිලේ සිදු කර ගත හැක. මෙහිදී වයස 35 කාන්තාවන් විශේෂයෙන් ඉලක්ක කර ඇත. ශ්‍රී ලංකාව වැනි රටක අපට පහසුවෙන් ම ගැබ්ගෙල පිලිකාවට තිත තැබීමටත්, මෙම තත්වය නිසා ඇතිවන මරණ සංඛ්යාව අවම කිරීමටත් හැකිවනුයේ කාලීනව පැප් පරීක්ෂණය සිදු කරගැනීමෙනි. පෞද්ගලික රෝහල් වලදී ද මෙය සිදු කර ගත හැක. කොහොමද කරන්නේ? මෙය ඉතාම සරල කිසිදු වේදනාවක් නොමැති පරීක්ෂණයකි. පළමුව කාන්තාව ලිතොටෝමි නමැති ඉරියව්වෙන් තබනු ලැබේ ඉන් පසුව ස්පෙකුලම් (Speculam) එකක් යොදා ගැබ් ගෙල පරික්ෂා කරනු ලැබේ. ඉන් පසුව ස්පැටුලා එකක් හෝ බ්‍රෂ් එකක් භාවිතා කර ගැබ් ගෙලේ නියැදියක් ගනු ලැබේ. ඉන් පසුව එය වර්ණ ගන්වා අන්වීක්ෂයක් මගින් පරික්ෂා කෙරේ. සැම වසර 3-5 කට වරක් මෙය සිදු කරගත යුතුය. මාස් ශුද්ධිය සිදුවී සති 1-2ක් අතර කාලය මෙය සිදුකරගැනීම සුදුසුය. pap පරික්ෂාවට පෙර පැය 48ක් ලිංගික සංසර්ගයෙන් වලකින්න. පරීක්ෂණයෙන් පසු දින කිහිපයක් යනතෙක් මඳ යෝනි රුධිර වහනයක් සිදුවිය හැක. මම විවාහක එක් සහකරුවෙක් පමණක් සිටින කාන්තාවක් මම pap පරීක්ෂාව කරගතයුතුද? ඔව්. ඔබේ පළමු ලිංගික සම්බන්දතාවේදී ශරීරයට ඇතුල් වූ HPV වෛරසය දිගින් දිගටම පැවතමින් ගැබ් ගෙල පිලිකාව ඇතිකල හැකියි. කිසිදා ලිංගික සංසර්ගය නොපැවැත්වූ(කන්‍යාවන්) අයට pap පරික්ෂාව වැදගත් ද? ඔවුන්ට ගැබ් ගෙල පිලිකාව ට ඇති අවදානම ඉතා කුඩයි, එහෙත් ගැබ් ගෙලේ වෙනස්කම් ඇතිවෙන්න පුළුවන්. ඒවගේම ලිංගික ප්‍රදේශවල හම ස්පර්ශවීම, ලිංගික උපකරණ හුවමරුවෙනුත් HPV ආසාදනය වෙන්න පුළුවන්.


ගැබ් ගෙල පිලිකාව වැලකීමට එන්නතක් තියෙනවද?

ඔව් , මේ සඳහා ඉතාම සාර්ථක එන්නතක් ඇත. එය ද්වි සංයුජ, සිව් සංයුජ සහ නව සංයුජ වශයෙන් වර්ග තුනකි. සිව් සංයුජ එන්නත ප්‍රධාන වශයෙන් පිලිකා කාරක 16,18 සහ අනෙකුත් HPV වර්ග වලට ආරක්ෂාව ලබාදේ. මෙයින් සිව් සංයුජ එන්නත ශ්‍රී ලංකාවේ වයස 10-11 කාන්තා දරුවන්ට ජාතික ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ 2017 වසරේ පටන් නොමිලේ ලබාදේ. එන්නත වයස 13ට පෙර ලබා දෙනවිට එන්නත් මාත්‍රා දෙකක් ප්‍රමාණවත් වේ. එම මාත්‍රා අතර පරතරය මාස 6කි. අනෙකුත් වැඩිහිටි අයට මෙම HPV එන්නත ලබාගැනීම පිළිබඳ තවත් විස්තර මෙම එන්නත ඕනෑම ගැහැණු හෝ පිරිමි අයකුට පිලිකා වැලක්වීමට උපකාරීවේ. එහෙත් පළමු ලිංගික සම්බන්දයට පෙර ලබාගැනීම ඉතාමත් ඵලදායි වේ. දැනට වයස අවුරුදු 10- 26ත් අතර ඕනෑම කාන්තාවකට මෙය පුද්ගලීක අංශයෙන් ලබා ගත හැකිය. වයස 13 වැඩි දරුවන්ට එන්නත් මාත්‍රා 3ක් ලබා දිය යුතුය. එක් මාත්‍රාවක් රුපියල් 6-7000 පමණ වේ. මෙය ලිංගික ක්‍රියා ආරම්භ කිරිමට පෙර ලබාදීම තරම් සාර්ථකත්වයක් නොමැති වුවත් යම් ආරක්ෂාවක් ලබාගත හැක. අදාල වෛද්‍යවරුන්ගෙන් විමසන්න.


අවසාන වශයෙන්.

පිලිකාවට ගොදුරු වී ඔබගේ සෞඛ්‍යය අවදානමට ලක් කරනවා වෙනුවට ඉහත සඳහන් කල අවදානම් සාධක වලින් ඈත් වී දිවියට සුව අරුතක් දීම වැදගත්. ඒමෙන්ම HPV එන්නත ලබා ගැනීම සහ නිසි කලට pap පරීක්ෂණය සිදු කරගැනීම ඉතා කාලෝචිතයි.






Tell your friends about this article




Leave your comments


Post comment as a guest




Comments


No Comments Found.