පිරිසිදු වටපිටාව දුරලයි ඩෙංගු වසංගතය

පිරිසිදු වටපිටාව දුරලයි ඩෙංගු වසංගතය

මේ මොහොත වනවිට ඔබ අප සියළු දෙනාටම කොවිඩ් වසංගතය හේතුවෙන් සුපුරුදු ජීවන රටාවෙන් බැහැරව ඉතාමත් අභියෝගාත්මක දිවි පෙවෙතකට හුරු වෙන්න සිදු වෙලා තියෙනවා. මේ දිනවල පවතින අධික වැසි තත්වය හේතුවෙන් ඩෙංගු රෝගය හිස ඔසවන අයුරු දැක ගන්න පුළුවන්..

ඩෙංගු රෝගයෙන් අපට ජීවිත රැසක් අහිමි වූයේ 2017 වසරේදී. මෑත කාලීනව ලංකාවේ ඇති වූ එම වසංගතයේ අමිහිරි මතක තවමත් ඔබට මතක ඇති. පසුගිය වසර හා සැසඳීමේදී ඩෙංගු රෝගීන් වාර්තා වීම අඩු උනත් මේ වසරේ වැසි සමයත් සමග ඩෙංගු රෝගයට ගොදුරු වූ ප්‍රමාණය ඉහළ ගොස් තිබෙනවා..

අවදානම් කලාප
ලංකාවේ ඩෙංගු රෝගීන් වැඩිම ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙන්නේ
නිරිත දිග මෝසමේ වැඩි බලපෑමක් තියෙන කොළඹ ,කළුතර ,ගම්පහ සහ රත්නපුර දිස්ත්‍රික්කයන්ගෙන්.කොහොම උනත් අනෙක් පළාත් වලිනුත් රෝගීන් වාර්තා වීමෙන් අපට පැහැදිලි වෙන්නේ ඩෙංගු කියන්නේ එක පළාතකට සීමා වුන රෝගයක් නෙමෙයි කියන එක.

රෝගීවීමේ දැඩි අවදානමක් සහිත පුද්ගල කාණ්ඩ
මීළගට ඩෙංගු රෝගයට ගොදුරු වීමේ දැඩි අවදානමක් තිබෙන්නේ කාටද කියලා හොයල බැලුවොත් වයස් භේදයකින් තොරව මේ රෝගයට ගොදුරු වීමේ ඉඩ අපි හැමෝටම තියෙනවා..නමුත් මෙම මදුරුවන් දෂ්ට කරනු ලබන උදේ 6-9 සහ සවස 3-7 වැනි කාල සීමාව තුළ බාහිර පරිසරය සමග ගැටෙන පුද්ගලයන් අධි අවදානමක් දරනු ලබනවා.බොහෝවිට මෙලෙස රැකියාවෙහි නිරත වන්නේ තරුණ හෝ මැදිවයසේ පුද්ගලයන්.

රෝග ලක්ෂණ
ඔබට දින දෙකේ සිට හත දක්වා පවතින උණ ගතියක් හෝ මස්පිඩු වේදනාවක් , තදබල හන්දි වේදනාවක් මෙන්ම ඇස්යට වේදනාවක් හෝ වමනය කියන රෝග ලක්ෂණ එකක් හෝ කිහිපයක් තිබෙනවනම් ඔබට ඩෙංගු රෝගය සෑදී වෙන්න පුළුවන් .මෙම රෝග ලක්ෂණ පවතීනම් සුදුසුකම්ලත් වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ලබා ගැනීම සිදු කල යුතුමයි. රෝගය මුල් අවස්ථාවේ දීම හඳුනා ගැනීම තුළින් ඩෙංගු කම්පන තත්වය වැනි බරපතල රෝගි අවස්ථා මගහැර ගැනීමට හැකියාව ලැබෙනවා.

රෝගයෙන් ආරක්ෂා වෙන්න සිදුකළ යුතු දේ
ඩෙංගු රෝගයෙන් ආරක්ෂා වීමේ වැඩි වගකීම ඔබේ අතේ. මොකද මේ මාරාන්තික රෝගයෙන් ආරක්ෂා වෙන්න කරන්න තියෙන්නේ ඔබ අවට ජලය රැඳෙන ස්ථාන විනාශ කරලා පරිසරය පිරිසිදුව තබා ගැනීම විතරමයි. ඒ අනුව අවට පරිසරය ඩෙංගු මදුරුවන්ගෙන් තොර ආරක්ෂාකාරී පරිසරයක් කරන්න ඔබට කරන්න පුලුවන් සරල දේවල් කිහිපයක් පහත පරිදි පෙළගස්වන්න පුළුවන්..
• ගෙදර, ඩෙංගු මදුරුවන් බෝවෙන්න ඉඩ පහසුකම් සලසන වතුර එකතුවෙන ස්ථාන ගැන විශේෂ අවධානයක් යොමු කිරීම.
• වැහි පිහිලි වල රැඳී ඇති කොළරොඬු ඉවත් කර පිරිසිදු කිරීම.
• ගෙදර අලංකාරයට තිබෙන පොකුණු, මාළු ටැංකි සතියකට දෙපාරක්වත් පිරිසිදු කිරීම.
• පොල්කටු වැනි වතුර එකතු විය හැකි ඉවතලන භාජන විනාශ කිරීම හෝ ජලය නොරැඳෙන සේ එකතු කිරීම.
• මදුරුවන් ගැවසෙන කාලසීමාව තුළ ශරීරය හොඳින් ආවරණය වන ඇදුම් ඇඳීම සහ අනුමැතිය ලත් මදුරු විකර්ෂණ ද්‍රව්‍ය ඇඟේ ගැල්වීම.
පවතින කොරෝනා වසංගත තත්වය නිසා පනවා ඇති සංචරණ සීමා හේතුවෙන් නිවසට වී ගත කරන කාලය සෞඛ්‍යාරක්ෂාව උදෙසා වැය කිරීමට කටයුතු කරමු. අවට පරිසරය පිරිසිදුව තබා ගැනීමෙන් කොවිඩ් වසංගතයෙන්ද පීඩා විඳින අපට ඩෙංගු වසංගතයකින් ආරක්ෂා වීමට මග සලසනු ඇත.එය මේ මොහොතේ අප වෙනුවෙන් දිවා රෑ වෙහෙස මහන්සි වී කටයුතු කරන සෞඛ්‍ය අංශයන් හට ප්‍රතිඋපකාර දැක්වීමක් වේවී..ඒ නිසා ඔබත් ඔබගේ වගකීම ඉටු කරමින් ඩෙංගු මාරයා පැරදවීමට අවට පරිසරය පිරිසිදුව පවත්වා ගනිමු.