සුවනාරී.. දිරිය ඔබ වෙනුවෙන්මයි.

සුවනාරී.. දිරිය ඔබ වෙනුවෙන්මයි.

මෙලොව නිර්මිත සුන්දරතම සහ අද්විතීය නිර්මාණය වශයෙන් කාන්තාව හඳුන්වනු ලැබීම අසත්‍ය නොවනු ඇත. මන්ද දියණියක මවක සොයුරියක මෙන්ම බිරිදක වශයෙන් ඇය කරනු ලබන මෙහෙය එතරම්ම සුවිශේෂී වන බැවිනි. කාන්තාව වූකලී දුක සතුට සම සිතින් දරාගෙන අන් සියලු දෙනාට සවියක් වන මහා පවුරකි. තම ලබැඳියන් සියලු දෙනා වෙනුවෙන් වෙන් කිරීමට කාලය තිබුනද තමා වෙනුවෙන් වෙන් කිරීමට කාලයක් නොමැතිවීම හේතුවෙන් මෙම මහ පවුර ඉරිතලා යාමට හැකියාව ඇත.

යොවුන් විය ඉක්මවා වයස අවුරුදු 35 පමණ වන විට කාන්තාවන් බහුතරය මවක බිරිඳක වශයෙන් ඉතා කාර්යබහුල වේ. එසේත් නොමැතිනම් රැකියාව සමග කාර්යබහුලය. මේ කාල සීමාව තුළ ඇයට තම සෞඛ්‍ය තත්වය පිළිබඳ පවත්නා අවදානය ගිලිහී යාමට ඉඩ ඇත. නමුත් ඇයගේ මෙන්ම ඔබේ පවුලේ සුබ සිද්ධිය උදෙසා ඇය යහපත් සෞඛ්‍යකින් යුතුද යන්න පරීක්ෂා කර බැලීම ඔබ සතු වගකීමකි එසේම යුතුකමකි.

වැඩිවියට පත්වීමත් සමග නාරී දේහය ක්‍රම ක්‍රමයෙන් විවිධාකාර වෙනස්කම් වලට ලක්වේ. මෙයාකාරයෙන් ශරීරය තුළ වෙනස්වීම් වලට ලක්වන හෝර්මෝන හේතුවෙන් කාන්තාවන් රෝගවලට ගොදුරුවීමේ අවදානම වැඩි වේ. ඒ අනුව සුලබව ඇතිවිය හැකි රෝග ලෙස හෘද රෝග, අධිර රුධිර පීඩනය, දියවැඩියාව වැනි රෝග පෙන්වා දිය හැකිය. මීට අමතරව පියයුරු පිළිකා සහ ගැබ්ගෙල පිළිකා තත්වයන්ටද කාන්තාවන් ගොදුරු වීමේ ඉඩඇත. මෙවැනි රෝග තත්ත්වයන් මූලික අවස්ථාවේදීම හඳුනාගැනීම තුළින් රෝගය පාලනය කිරීමක් හෝ නිට්ටාවටම සුව කර ගැනීමට අවස්ථාවක් ඇති බැවින් වයස අවුරුදු 35 ඉක්මවූ කාන්තාවන් සෞඛ්‍ය සායන කරා යොමුවීම වැදගත් වේ.

දියුණු රටවල කාන්තාවන් වසර 03කට වරක් මෙවැනි සායන වලට යොමුවී තම සෞඛ්‍ය තත්වය පිළිබඳ පරීක්ෂා කරනු ලබයි. ශ්‍රී ලංකාවේද පවුල් සෞඛ්‍ය කාර්යාංශය මගින් මෙහෙයවන සුවනාරී සායනය දිවයින පුරා පිහිටි සියළුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයන්හි ක්‍රියාත්මකය. මේ හරහා ඔබට
නොමිලේම අදාල වෛද්‍ය උපදෙස් සහ ප්‍රතිකාර ලබා ගැනීමට හැකියාව ඇත. මෙම සුවනාරී සායනයන් මගින් ලබා දෙන සේවාවන් කිහිපයකි.

• පියයුරු පරීක්ෂාව සහ ස්වයං පියයුරු පරීක්ෂාව සඳහා දැනුම ලබාදීම
• පැප් පරීක්ෂාව (ගැබ්ගෙල ශ්‍රාවී පටල පරීක්ෂාව )
• පියවි ඇසින් ගැබ්ගෙල පරීක්ෂාව
• රුධිර පීඩන පරීක්ෂාව
• මුත්‍රාවල ප්‍රෝටීන හා සීනි පරීක්ෂාව
• පවුල් සැලසුම් සේවාව
• සාමාන්‍ය කායික පරීක්ෂාව
• නිරෝගි මත් දිවියකට අවැසි සෞඛ්‍ය අධ්‍යාපනය
• ආර්ථවහරණය හා ඔසප් වීම සම්බන්ධ ගැටලූ සාකච්ඡා කිරීමට අවස්ථාව හිමිවීම

ඔබත් වයස අවුරුදු 35 සම්පූර්ණ වූ කාන්තාවක්නම් අදම ළඟම පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය වෙත ගොස් මෙම  සේවාව ලබාගැනීමට උනන්දු වන්න.
ඒ හරහා ඔබට ඔබගේ නිරෝගී බව පිළිබඳව තක්සේරුවක් ලබාගත හැකි අතරම යම් රෝග තත්ත්වයක් වේ නම් ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකාර කරා යොමුවීමටද අවස්ථාව උදාවේ.

දැයේ දිරිය කාන්තාවනි, වැඩ රාජකාරී අතර කාර්යබහුල වී සිටිය ද ඔබේ සුවපත් බව වෙනුවෙන් සුළු මොහොතක් වෙන් කිරීමට අමතක නොකරන්න..එය ඔබේත් ඔබේ ආදරණීයයන්ගේත් සතුට සඳහා කරනු ලබන ආයෝජනයක් බව අමතක නොකරන්න.