පිළිකාව සහ කොවිඩ් 19 වසංගතය

පිළිකාව සහ කොවිඩ් 19 වසංගතය

වර්තමානයේ පවතින කොවිඩ් 19 කොරෝනා වසංගතය හේතුවෙන් දැඩි පීඩාවට පත්වී ඇති සමාජ කණ්ඩායමක් වශයෙන් පිළිකා රෝගීන් හදුන්වා දිය හැකිය. මොවුන්ගේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය අන් පුද්ගලයන්ට සාපේක්ෂව ඉතා අවම මට්ටමක පැවතීම හේතුවෙන් මොවුන් ඕනෑම රෝගයකට ඉතා පහසුවෙන් ගොදුරු වීමේ ප්‍රවණතාවය වැඩිවීම නිසා මෙලෙස මොවුන් දැඩි අවධානම් කාණ්ඩයේ රෝගීන් බවට පත්වීමට හේතු සාධක වී ඇත. යම් විෂබීජයක් මෙම රෝගීන් සිටින රෝහල් පරිශ්‍රයකට ඇතුළු වුවහොත් එම පරිශ්‍රයේ සිටිනා නේවාසික රෝගීන් සියළු දෙනාට එම විෂබීජයන් ආසාධනය වීමේ අවස්ථාව ඉහළය. එබැවින් අවදානමට පෙර සූදානම යන කියමන සනාථ කරමින් මෙම වසංගත සමය තුළ දැඩි ආරක්ෂණ ක්‍රමවේදයන් පිළිපදිමින් රෝගීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු කළයුතුය.

වර්තමානය වන විට පිළිකා රෝගීන්ගේ සංඛ්‍යාත්මක වැඩිවීමක් දැක ගැනීමට හැකියාව ලැබෙන අතර, වයස අවුරුදු 65 ඉක්ම වූ පුද්ගලයන් අතර පිළිකා තත්වයන් බහුලව දැකගත හැකිය. එමෙන්ම මෙම පිළිකා රෝගයට ගොදුරු වන පුද්ගල සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහළ යාමට බලපා ඇති හේතු සාධක දෙස අවධානය යොමු කිරීමේදී පහත කරුණු ප්‍රධාන වශයෙන් බලපාන බව පැහැදිළි වේ.

  • දුම්කොළ භාවිතය – දුම්පානය කිරීම, බුලත් සැපීමේ දී ඒ සදහා යොදා ගැනීම හෝ දුම් කුඩු ඉරීම යනාදීය සිදු කිරීමේ දී පුද්ගලයන් බහුල ලෙස දුම්කොළ භාවිතා කරන අයුරු දැකගත හැක. මෙම දුම්කොළ වල නිකොටින් නම් පිළිකා කාරක රසායන ද්‍රව්‍ය බහුලව අඩංගු වේ. එහි ප්‍රතිඵලයක් වී ඇත්තේ පුද්ගලයා මුඛය, උගුර, පෙනහළු, මුත්‍රාශය මෙන්ම ගලනාලය ආශ්‍රිතව පිළිකා තත්වයන්ට ගොදුරු වීමයි.
  • ජානමය හේතූන්- මහබඩවැල ආශ්‍රිත පිළිකා තත්වයන්, ගුද මාර්ගය ආශ්‍රිත පිළිකාවන් මෙන්ම පියයුරු පිළිකාවන් ද ඇතැම් අවස්ථාවන්හි දී ජානමය හේතු සාධක මත පුද්ගලයා ගොදුරු කර ගන්නා ආකාරයක් දැකගත හැකිය.
  • ආහාර පුරුදු – බොහෝ දෙනා තුළ පවත්නා අධික කාර්යබහුලත්වය හේතුවෙන් සහ ක්ෂණික ආහාර වලට ඇති කැමැත්ත හේතුවෙන් පෝෂද්‍යායී ආහාර රටාවෙන් බැහැර වීමක් සහ මේදය අධික ලෙස අඩංගු රත්පැහැ මාංශමය ආහාර වලට නැඹුරු වීමක් දැකගත හැකිය. මෙය ද පිළිකා ඇති වීමට බලපාන තවත් ප්‍රධාන එක් සාධකයකි.
  • ව්‍යායාම අඩුවීම – අතීතයේ දී බොහෝ පුද්ගලයන් කය වෙහෙසා මහන්සි වී ක්‍රීඩා කටයුතු යනාදියෙහි නිරත වුව ද වර්තමානයේ දී දුරකථනය හා පරිගණකය සමග පුද්ගලයා කාර්යබහුල වීම හේතුවෙන් ශරීරයට ලැබිය යුතු ව්‍යායාමයන් නොලැබී යාමෙන් පුද්ගලයා රෝගී තත්වයට පත්වීමේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇත.
  • විකිරණ වලට නිරාවරණය වීම- ඇතැම් පුද්ගලයන් නිරත වන වෘත්තීන් මත ඔවුන්ව නිරන්තරයෙන් විකිරණ වලට නිරාවරණය වේ. මෙයද පුද්ගලයා පිළිකා රෝගීයෙකු බවට පත්කිරීමට බලපාන තවත් එක් හේතු සාධකයකි.

මේ වන විට ලොව පුරා මෙන්ම ලංකාවේ ද ලොකු කුඩා භේදයකින් තොරව පිළිකා රෝගීන්ගේ වැඩිවීමක් දැක ගත හැක. කුඩා දරුවන් අතර ලියුකේමියා තත්වය බහුලව දැකගත හැක. මෙම පිළිකා තත්වයන්ට ගොදුරු වූවන් හට දැඩි වේදනාවකට මුහුණදීමට සිදුවන බැවින් හා මෙම රෝගය පාලනය කිරීම සදහා නිසියාකාරව ප්‍රතිකාර ලබා ගැනීම අත්‍යාවශ්‍ය වේ. මේ හේතුවෙන් මෙම වසංගත සමය තුළ ද ප්‍රතිකාර ලබා ගැනීම උදෙසා ඉතා විශාල පිරිසක් යොමුවන ආකාරය දැක ගත හැක. පිළිකා රෝගයට ගොදුරු වූවන් ඉන් සුවවීමේ හැකියාව පිළිබද විමසා බැලීමේ දී අවධානය යොමු කරනු ලබන ප්‍රධාන හේතු සාධක කිහිපයකි. එහිදී

  • පිළිකාවේ වර්ගය
  • පිළිකාව සොයා ගන්නා අවස්ථාවෙහි එහි තත්වය
  • රෝගියාගේ සෞඛ්‍ය තත්වය
  • ප්‍රතිකාර සිදු කිරීම සදහා පවතින පහසුකම්

යනාදිය කෙරෙහි මූලික වශයෙන් අවධානය යොමු කරනු ලබයි.  ඒ අනුව රෝගියාව එම පිළිකා රෝගී තත්වයෙන් මුදවා ගැනීම උදෙසා විවිධ ප්‍රතිකාර ක්‍රමයන් භාවිතා කරනු ලබයි. එහිදී වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම, ශල්‍ය කර්මයක් මගින් පිළිකාව ඉවත් කිරීම හෝ විකිරණ ප්‍රතිකාර වලට යොමුවීම තුළින් පුද්ගලයා එම රෝගී තත්වයෙන් මුදවා ගැනීමට හැකියාව ලැබී ඇත.

මෙම පිළිකා තත්වයට ගොදුරු වූ බහුතරයක් රෝගීන් හට දිගුකාලීනව ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන අතර නේවාසිකව ප්‍රතිකාර ලබා ගන්නා පිරිස ද අතිමහත්ය. මෙම වසංගත සමය තුළ රෝගීන්ගේ ආරක්ෂාව මෙන්ම ඔවුන්ට සේවා සැපයීම උදෙසා කටයුතු කරනු ලබන වෛද්‍යවරු ඇතුළු සියළු රෝහල් කාර්ය මණ්ඩලයෙහි ආරක්ෂාව උදෙසා අනුගමනය කළ යුතු ආරක්ෂණ ක්‍රමවේදයන් රැසකි. ඒ අතුරින් රෝහල වෙත පැමිණෙන සෑම පුද්ගලයෙකුගේම ශරීර උෂ්ණත්වය පරීක්ෂා කර බැලීම, පුද්ගල දුරස්ථභාවය රැක ගැනීමට ක්‍රියා කිරීම මෙන්ම විෂබීජහරණයට ලක්කිරීම යනාදිය සිදු කිරීම තුළින් සියළු  පුද්ගලයන් මෙම වසංගතයෙන් ආරක්ෂා කර ගැනීමට හැකියාව ඇත.

එමෙන්ම නේවාසික රෝගීන් බැලීමට පැමිණෙන පුද්ගලයන් වෙතින් ඔවුන්  විදේශයක සිට පැමිණියේ ද යන්න පිළිබද විමසා බලා සියළු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කිරීමෙන් අනතුරුව පමණක් එම පරිශ්‍රයන්ට ඇතුළු වීමේ අවස්ථාව හිමිකර දෙන ලදි.

යම්කිසි නේවාසික රෝගියකු  කොරෝනා රෝගයට ගොදුරු වී ඇතැයි සැක පහළ වූ විගස ඔහුව සෙසු රෝගීන්ගෙන් ඉවත් කොට ප්‍රතිකාර සිදුකිරීම තුළින් සෙසු රෝගීන් ගේද ආරක්ෂාව තහවුරු කර ගැනීමට හැකියාව ලැබී ඇත.  එමෙන්ම මෙම කාලසීමාව තුළ රෝගීන්ගේ ශාරීරික යහපැවැත්ම පවත්වාගෙන යන අතරතුර මානසික සුවය උදෙසා ද කටයුතු කිරීම ඉතා වැදගත් වේ.

අප රටේ පවත්නා රෝග අතුරින් මිල අධිකම බෙහෙත් සහ ප්‍රතිකාර ක්‍රම භාවිතා කරනු ලබන රෝගය වන්නේ පිළිකා රෝගයයි. නමුත් මේ  සියළු දේ අනුගමනය කරනු ලැබුව ද පිළිකා රෝගයට ගොදුරු වී එය ඔඩු දිව්වාට පසු එම රෝගය සුව කිරීම ඉතා අපහසුය. නමුත් ඔබ මේ රෝගය සම්බන්ධයෙන් දැනුවත් වූ මුල් අවධියේදීම ප්‍රතිකාර සදහා යොමු වුවහොත් ඔබට මෙම පිළිකා රෝගය නිට්ටාවටම සුව කර නිරෝගී පුද්ගලයකු ලෙස ජීවත්වීමට හැකියාව ලැබෙනු ඇත.

එබැවින් ඔබ ක්‍රමයෙන් වයසට යාමත් සමග පූර්ණ ශරීර පරීක්ෂාවක් සිදු කර යම්කිසි ගැටළුකාරී තත්වයක් පවතීනම් එය විසදා ගැනීමටත්, පිළිකා රෝගයට ගොදුරු වී ඇත්නම් රෝගය හදුනා ගත් විගස ප්‍රතිකාර සදහා යොමුවීමත් තුළින් ඔබට මෙන්ම ඔබේ ළබැදියන්ට ද සාමකාමී දිවි පෙවතක් ගත කිරීමට හැකියාව ලැබේ.