COVID-19 සහ එන්නත්කරණය

COVID-19 සහ එන්නත්කරණය

COVID -19 යනු ඉතා ඉක්මනින් ව්‍යාප්ත වන රෝගයකි.එම හේතුවෙන්ම මෙය ගෝලීය වසංගතයක් බවට මේ වනවිට පත්ව ඇත. . මෙම වෛරසය හේතුවෙන් බරපතල රෝගාබාධ, රෝහල් ගතවීම්, දිගු කාලීන සංකූලතා සහ මරණය පවා ඇති කළ හැකි අතර මින් ආරක්ෂා වීමට සරල, ආරක්ෂිත හා ඵලදායී ක්‍රමයක් වන්නේ මෙයට ප්‍රතිරෝධය දැක්වීමට ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීමයි.

අතීතයේ සිටම විවිධ රෝගාබාධයන් පාලනය කිරීම සඳහා යොදාගත් සාර්ථක ක්‍රමවේදයක් ලෙස එන්නත්කරණය හඳුන්වා දිය හැකිය. පුද්ගලයෙකුට එන්නත් ලබා දීම තුළින් ආක්‍රමණික වෛරසය ඔබ ශරීරයට ඇතුළු වූ විගස, ඔබ එමගින් අසනීප වීමට පෙර එම වෛරසය ඉක්මනින් විනාශ කර දැමීමට ප්‍රතිශක්තීකරණ පද්ධතිය සූදානම් කිරීමක් සිදු වේ.

මේ වන විට ගෝලීය වසංගතයක් වූ COVID -19 වැළැක්වීමේදී පුද්ගල හැසිරීම අතිශයින්ම වැදගත් කාර්යභාරයක් ඉටු කරන නමුත් පුද්ගල හැසිරීමෙන් පමණක් රෝග පාලනය දුෂ්කර වී ඇත. එබැවින් මෙම වසංගතයෙන් අත්මිදීමට ද අතීතයේ සිටම සාර්ථක ප්‍රතිඵල පෙන්වන ලද එන්නත්කරණයට ලෝක සෞඛ්‍ය සංවිධාන අවධානය යොමු කර ඇත.

කෙටි කාල සීමාවක් තුළදී එකම අරමුණක් කරා යොමු වූ අතිදක්ෂයන්ගේ සුවිශාල කැපවීම මත ළඟා කරගත් ජයග්‍රහණයක් වශයෙන් එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ AstraZenecea සමාගම මගින් නිර්මාණය කර ඉන්දියාව තුළ නිෂ්පාදනය කරනු ලබන Oxford-Astrazeneca එන්නත හඳුන්වා දිය හැක. ශ්‍රී ලංකාවේ භාවිතා කරන පළමු එන්නත වන මෙහි ක්‍රියාකාරිත්වය සරලවම විග්‍රහ කළහොත් එය වෛරසයේ ජීවී නොවන කොටසක් (වෛරසයේ මතුපිටින් සොයා ගන්නා ප්‍රෝටීනයක්) ශරීරය තුළට රැගෙන යන අතර එය වෛරසයට ප්‍රතිරෝධයක් දැක්වීම හේතුවෙන් වෛරසය විනාශ වී යයි. එන්නත ලබාගත් පුද්ගලයකුට මෙම වෛරසය ආසාදනය වුවහොත් ප්‍රතිශක්තිකරණ පද්ධතිය මඟින් අදාල වෛරසය හඳුනාගෙන එයට පහර දී විනාශ කර දමයි. එහි ප්‍රතිඵලය වන්නේ පුද්ගලයා මෙම වසංගත රෝගයෙන් ආරක්ෂා වීමයි.

යහපත් සෞඛ්‍ය තත්වයෙන් සිටිය ද කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකළ ද ඇතැම් විට ඔබ කොවිඩ් ආසාදිතයෙකු වීමට ඉඩ ඇත. එවිට ඔබ හරහා ඔබ අවට සිටින පුද්ගලයන් ආසාදිතයන් බවට පත් වීමේ අවධානකමක් ඇත. ඔබ ඔබේ එන්නත ලබා ගැනීම තුළින් ඔබව මෙන්ම ඔබ අවට සිටින ඔබේ ආදරණීයන් ද ආරක්ෂා කර ගැනීමේ අවස්ථාව ඔබට උදාවී ඇත. ඒ හරහා ඔබගේ මෙන්ම සමාජයේ ආරක්ෂාව ද තහවුරු කිරීමට ඔබට හැකියාව ලැබී ඇත. මෙම එන්නත ලබා ගැනීම තුළින්
• වෛරසය ආසාදනය වීමේ අවධානම සැලකිය යුතු ලෙස අවම කරයි.
• පුද්ගලයකුගෙන් තවත් පුද්ගලයෙකුට රෝගය ව්‍යාප්ත වීමේ අවදානම විශාල ලෙස අඩුවීම.
• මෙම එන්නත ලබා ගත් පුද්ගලයෙකුගේ ශරීරයට මෙම වෛරසය ඇතුළු වුවහොත් එමගින් ඔහුට සිදුවන බලපෑම අවම වීම.

මෙම එන්නත ලබා ගැනීමේ දී ගර්භණී මව්වරුන් හා කිරි දෙන මව්වරුන්, අවුරුදු 18 ට අඩු පුද්ගලයින් මෙන්ම එන්නත් වලට දැඩි අසාත්මිකතා ඇති පුද්ගලයින් ද එන්නත ලබා ගැනීමට නුසුදුසු පුද්ගලයන් වශයෙන් හඳුනාගෙන ඇත. එමෙන්ම එන්නත් සඳහා දැඩි අසාත්මිකතාවයන් ඇති පුද්ගලයන් වෛද්‍ය උපදෙස් මත පමණක් එන්නත ලබා ගැනීමට යොමු විය යුතුය. නමුත් කෙසේ වෙතත් මෙම එන්නත ලබාදීමට පෙර පුද්ගලයාගේ ශරීර යෝග්‍යතාව පිලිබඳ සලකා බැලීමට සෞඛ්‍ය කාර්ය මණ්ඩලය විසින් කටයුතු කරනු ඇත.
මෙම එන්නත ලබා ගැනීමෙන් අනතුරුව දැකගත හැකි අතුරු ආබාධ කිහිපයක් වශයෙන් එන්නත ලබා දුන් පෙදෙස අවට ඇතිවන වේදනාව, මද උණ ගතිය සහ මාංශ පේශි කැක්කුම ලොව පුරා මාධ්‍යය වලින් වාර්තා කර ඇති නමුත් ඒවා සෘජුවම එන්නත්කරණය හේතුවෙන් සිදුවූවක් බවට තහවුරු කිරීමට මෙතෙක් හැකියාව ලැබි නොමැත.

මෙම එන්නතෙහි අපේක්ෂිත ඵලදායිතාව ලබා ගැනීමටනම් මාත්‍රා 02 සම්පූර්ණයෙන්ම ලබා ගැනීම වැදගත් වේ. නමුත් මෙම එන්නතෙහි සම්පූර්ණ මාත්‍රාව ගනු ලැබුවද එහි ප්‍රතිශක්තිකරණ ආරක්ෂණ කාලය හෝ එන්නත ලබා ගැනීමෙන් පසු වෛරසය පැතිරයාමේ සීග්‍රතාව කෙතරම් දුරට අවම වේද යන්න නිශ්චිත නොවේ. එමෙන්ම එන්නත තුළින් පුද්ගලයා මෙම වසංගතයෙන් පූර්ණ ලෙස ආරක්ෂා කිරීමක් සිදු නොකරන අතර රෝගයට එරෙහිව නැගී සිටීම උදෙසා ප්‍රතිශක්තිය වැඩි දියුණු කරමින් සවියක් ලබා දීම පමණක් සිදු කරයි. එබැවින් ඔබ මේ දක්වා පුරුදු පුහුණු කර ආ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් නිසියාකාරව පිළිපදිමින් සෙනඟ අතර ගැවසීම අවම කිරීම, දෑත් නිතර සබන් යොදා පිරිසිදු කිරීම, මුහුණු ආවරණ පැළදීම යනාදිය අඛණ්ඩව ඉදිරියටත් සිදුකිරීම තුළින් මේ ගෝලීය වසංගතයෙන් අත්මිදී නිදහසේ හුස්ම ගැනීමේ හැකියාව ලැබෙනු ඇත.