කොරෝනා වෛරස සහ දරුවන්ගේ මානසික සෞඛ්‍යය සුරැකීම

කොරෝනා වෛරස සහ දරුවන්ගේ මානසික සෞඛ්‍යය සුරැකීම

ලොව පුරා පැතිර පවතින කොරෝනා වෛරසයේ භෞතික බලපෑම් පිළිබඳව, එහි රෝග ලක්ෂණ මෙන් ම ඒ සඳහා අනුගමනය කළ යුතු සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත් සහ ක්‍රියාමාර්ග පිළිබඳව ලොව පුරා සිටින මිනිසුන් මේ වනවිටත් ඉතා හොඳ දැනුවත්භාවයකින් සහ අවබෝධයකින් යුක්තය. එහෙත් එහි මානසික බලපෑම පිළිබඳව හෝ එවැනි අවස්ථාවක කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව තවමත් ඇත්තේ ඉතා අඩු අවබෝධයකි. සමාජ දුරස්ථකරණය, දින ගණනක් මුළුල්ලේ හුදකලාව සිටීම, තම සමීපතමයන්ගෙන් ඈත්ව ජීවත්වීමට සිදුවීම සහ කොරෝනා රෝගය පිළිබඳව ඇතිවන අනියත බිය වැනි කාරණා පදනම් කොටගෙන මෙම වෛරසය භෞතිකව පමණක් නොව මානසිකව ද පුද්ගල ජන ජීවිතය තුළ යම් යම් අහිතකර බලපෑම් රැසක් ඇති කිරීමට සමත්වී ඇත. ඒ අනුව වර්තමාන ගෝලීය තත්වය හමුවේ කුඩා දරුවාගේ සිට වැඩිහිටියා දක්වා ම මෙවැනි අනියත හෝ පීඩාකාරී චිත්තවේගයන් සම්මිශ්‍රණය වෙමින් පවතින බවට ලොවපුරා වාර්තාවන කාලීන සිදුවීම් සහ පර්යේෂණ මගින් අනාවරණය වේ. වැඩිහිටියන් වන අප මෙවැනි දෑ මීට පෙර පෞද්ගලිකව අත්විඳි නැති වුවද අවම වශයෙන් අසා හෝ දැක හෝ තිබිය හැක. එහෙත් කුඩා දරුවන් වන ඔවුන්ට ඒ පිළිබඳව අත්දකින්නට විනා ඒ පිළිබඳව නොවැටහෙන්නට ද පුළුවනි.

එබැවින් මෙවැනි තත්වයක් යටතේ දරුවන් තුළ ඒ ඒ වයස් සීමාවන්ට අනුකූලව මෙම තත්ත්වය පිළිබඳව යම්කිසි දැනුවත්භාවයක් ඇති කිරීම දෙමව්පියන් නැතහොත් වැඩිහිටියන් වන අපගේ වගකීමකි. මෙම කොරෝනා හෙවත් කොවිඩ් 19 වෛරසය හේතුවෙන් ඉතාමත් කලාතුරකින් කුඩා ළමයින් ශාරීරිකව රෝගාතුර වන බව සහතික කළ ද එය ඔවුන්ගේ මානසික සෞඛ්‍යය කෙරෙහි ඇති කෙරෙන බලපෑම පිළිබඳව නිශ්චිත පිළිතුරක් හෝ තක්සේරුවක් ලබාදිය නොහැක. බොහෝවිට වචනයෙන් ප්‍රකාශ නොවූවත් දරුවන්ට දිගින් දිගට ම නිවසේ රැඳී සිටීමට සිදුවීම වැනි කාරණා පදනම් කොට ගෙන මනෝසමාජීය ගැටලු සහ ඒ ආශ්‍රිත සංකූලතා රැසක් ඇතිවෙමින් පවතින ආකාරයක් වර්තමාන ශ්‍රී ලාංකේය සමාජය දෙස බැලීමේදී ද ගම්‍ය කෙරේ.
බොහෝවිට දරුවන්ගේ වයස් මට්ටම, ළමා සංවර්ධන අවධිය සහ ඒ ආශ්‍රිතව ගොඩනැගෙන චිත්තවේගාත්මක සහ ප්‍රජානනික සංවර්ධන ස්වාභාවයන්, සමාජ ඉගෙනුම සහ සමාජ සංජානනය, තාර්කික සහ චිත්තවේගාත්මක බුද්ධිය, පෞරුෂ ස්වාභාවයන් සහ අත්දැකීම් පසුතලය වැනි කාරණා මත එහි තීව්‍රතාවය අඩු වැඩි වශයෙන් වෙනස් වනු ඇත. එනම්, ඇතැම් දරුවන් තුළ මෙවැනි අභියෝගාත්මක තත්ත්වයකදී පෙරට වඩා තරහා යාම, ජීවවිද්‍යාත්මක වයසට වඩා වයසින් අඩු කුඩා ළමයෙකු සේ කතාබහ කිරීම හෝ හැසිරීම, නිතර කනස්සල්ලෙන් පසුවීම, නින්ද සහ ආහාර රටාවේ වෙනස්කම් ඇතිවීම, අවධානය අඩුවීම, ඉගෙනුම් හා විභාග කටයුතු පිළිබඳව අනියත බිය හෝ ආතතියක් ඇති කරගැනීම, පෙරදී කැමත්තෙන් සහ උනන්දුවෙන් කළ කී දෑ ප්‍රතික්ෂේප කිරීම, අහේතුක ශාරීරික අපහසුතා සහ වේදනා ඇතිවීම, දැඩි නුරුස්නා ස්වාභාවය යනාදිය යි. මෙවැනි තත්ත්වයන් කෙරෙහි බලපානු ලබන්නේ ඔවුන් තුළ ඇති වී තිබෙන අනාරක්ෂිත මානසික ස්වභාවය, නිදහස සීමා වීම සහ තම දෙමව්පියන්ගෙන් හෝ හිත මිතුරන්ගෙන් වෙන්වීමට සිදුවීම වැනි මානසික පීඩාවන් ඇති කරන කාරණාවන් විය හැකිය.

එමෙන් ම දැනටමත් අවදානම් තත්වයන්හි හැදී වැඩෙන මිලියන සංඛ්‍යාත දරුවන් දරිද්‍රතාවයෙන් පීඩා විඳිමින් ජීවත්වන ආකාරය මෙන් ම බොහෝමයක් අසීරුතාවයන් මැද රැකබලා ගන්නා දරුවන්, විශේෂ අවශ්‍යතා ඇති දරුවන් හෝ දැනටමත් කාංසාව, විශාදය හෝ වෙනත් ළමා මානසික ගැටලු, අක්‍රමතා මෙන් ම මානසික රෝග සමඟ පොරබදමින් සිටින දරුවන්ට සහ ඔවුන්ගේ දෙමාපියන්ට විශේෂයෙන් මෙවැනි දුෂ්කර කාලයක් හමුවේ මුහුණදීමට අවශ්‍ය ශක්තිය සහ මගපෙන්වීම අත්‍යාවශ්‍යයෙන් ම අවශ්‍ය වනු ඇත. එබැවින් ඔබේ දරුවන්ට අවශ්‍ය කරන නිසි අවබෝධය, චිත්තවේගාත්මක සහයෝගය සහ නිසි මගපෙන්වීමක් ලබාදීමට කටයුතු කිරීම ඉතා වැදගත් ය. මේ සඳහා රජයේ නිල ප්‍රවෘත්ති හෝ ලෝක සෞඛ්‍ය සංවිධානය වැනි පිළිගත් ආයතනයක් මගින් ඉදිරිපත් කෙරෙන කරුණු සහ දත්ත පිළිබඳව දෙමාපියන් වශයෙන් පළමුව ඔබ දැනුවත්විය යුතුය. ඔබට යම්කිසි මානසික ආතතිමය ගැටලුවක් ඇත්නම් පළමුව ඒ සඳහා සුදුසු වෛද්‍ය සහ උපදේශනාත්මක සහය ලබා ගැනීමට නිහතමානී විය යුතුය. මන්ද ඔබේ සෞඛ්‍ය සම්පන්න බව ඔබේ දරුවාගේ සෞඛ්‍ය සහ සුරක්ෂිතභාවය සඳහා සෘජුව බලපාන බැවිනි.

එහිදී දෙමාපියන් ලෙසින් ඔබට හැකි නම් තම දූදරුවන් සමඟ වර්තමාන සමාජයේ ඇතිවී ඇති මේ තත්ත්වය පිළිබඳව ඔවුන්ට අවබෝධ වන ආකාරයෙන් කතාබහ කිරීමට, ඒ පිළිබඳව ඔවුන්ට හැඟෙන්නේ කෙසේද සහ ඔවුන් සිතන්නේ කුමක්දැයි සොයා බැලීමට, ඔවුන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීමට සහ ඒ ඒ දරුවන්ගේ වයසට ගැළපෙන අයුරින් පැහැදිලි කිරීමට මෙන් ම ඔවුන් සමඟ ඕනෑ ම ගැටලුවකදී ඔබ එක්ව සිටින බවට සහතික වීමට හැකි නම් එය ඔබේ දරුවාට විශාල මානසික අස්වැසිල්ලක් වනු ඇත. එහෙත් කිසි විටෙකත් දෙමාපියන් ලෙස තමන්ට පාලනය කළ නොහැකි ඇදිරිනීතිය, පරිභෝජන අවශ්‍යතා වැනි කාරණාවන් හෝ ඔබේ පෞද්ගලික ආකල්ප හෝ භීතිකාවන් දරුවන්ට පැවසීම හෝ අනවශ්‍ය බිය ගැන්වීම සහ අධි ආරක්ෂාව ලබාදීම වැනි දෑ නොකළ යුතු අතර එය තවදුරටත් ඔබේ දරුවන් තුළ අනියත බිය සහ මානසික පීඩාකාරී බවක් ඇති කිරීමට හේතුවනු ඇත.

එමෙන් ම ඔබට හැකි සෑම අවස්ථාවකදී ම දරුවන් සමඟ එක්ව කටයුතු කිරීම සහ දරුවා සමඟ පොත්පත් කියවීම, නිවසේ වැඩකටයුතු කිරීම, ක්‍රීඩා කිරීම වැනි ඵලදායී, ධනාත්මක, අධ්‍යාපනික ක්‍රියාකාරකම් වල නිරතවීමෙන් ඔවුන්ට තම චිත්තවේග මුදාහැරීම සහ ප්‍රකාශ කිරීමට අවස්ථාවක් සැලසෙනු ඇත.
තවද දරුවන් බිය වේ යැයි සිතා ලෝකය පුරා රෝග ව්‍යාප්තිය පිළිබඳව සැබෑ තොරතුරු සැඟවීම හෝ ජනමාධ්‍ය භාවිතයට සීමා පැනවීම වැනි දෑ නොකළ යුතු අතර ඒ ඒ දැනුම් සහ බුද්ධි මට්ටම් මත හෝ වෙනත් සාධාරණ කාරණා මත දරුවන්ට මෙම තත්ත්වය පිළිබඳව දැනගැනීමට අවස්ථාව ඔවුනොවුන්ට ගැළපෙන පරිදි ලබාදිය යුතුය.

එමෙන් ම දෙමාපියන් ලෙස ඔබට හැකි නම් දරුවන්ට මෙම තත්ත්වය හමුවේ සෞඛ්‍යාරක්ෂිතව කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව පැහැදිලි කිරීමට සහ ආදර්ශයෙන් ම ඒවා ඉටු කර පෙන්වීම හා ඉටු කිරීමට පෙළඹවීම වැනි කාරණා පිළිබඳව සැලකිලිමත්වීම ඉතාමත් වැදගත් වේ.
තවද පාසල් අධ්‍යාපනය ලබන වයසේ දරුවන් සිටින්නේ නම් රටේ පවතින වර්තමාන තත්ත්වය හමුවේ වුවුද ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු විධිමත් ආකාරයෙන් පෙර පරිදි ම නිවසේ සිටින විට ද සිදු කිරීමට අවශ්‍ය මගපෙන්වීම සහ සහයෝගය ලබා දීමට කටයුතු කළ යුතුය. ඒ සඳහා දෙමාපියන් ලෙස ඔබට දරුවන්ගේ ඉගෙනීම් කටයුතු සහ අනෙකුත් වැඩ කටයුතු කළමනාකරණය කර ගැනීම සඳහා කාලසටහනක් සකස් කර ගැනීමට දරුවන්ට සහය විය හැක. තවද අන්තර්ජාල පහසුකම් සහ රූපවාහිනි මාධ්‍ය ඔස්සේ නැරඹීමට හැකි අධ්‍යාපනික උපකාරක වැඩසටහන් සඳහා කාලය වෙන් කර දීමට හැකි අතර එහිදී ලැප්ටොප් සහ ජංගම දුරකථන වැනි තාක්ෂණික මෙවලම් සමඟ වැඩි වේලාවක් ගත කිරීම වෙනුවට පොතපත කියවීම, ගෙවතුවගා කටයුතු කිරීම, සිත සහ ශරීරය සන්සුන් කරවන සංයම අභ්‍යාස හෝ සරල භාවනා ක්‍රම දරුවාට කියා දීම සහ ඒවාට ක්‍රමයෙන් හුරු කරවීම හෝ සංගීත රසවින්දනය වැනි පරිසරය සහ සෞන්දර්යය සමඟ ඒකාත්මික වූ ක්‍රියාකාරකම් වලට ආදර්ශයෙන් ම දරුවා යොමු කරවීම ඉතාමත් යහපත් වේ. ඒ තුළින් දරුවාගේ කායික, මානසික, අධ්‍යාපනික, අධ්‍යාත්මික සහ පාරිසරික මානනයන් සංවර්ධනයවීමත් එමගින් දරුවාගේ පෞරුෂය ධනාත්මක ආකාරයෙන් සංවර්ධනය වීම සිදු වේ.

එමෙන් ම අවශ්‍ය අවස්ථාවකදී ළමා සහ යොවුන් මානසික සෞඛ්‍ය පිළිබඳව වෛද්‍ය හෝ මනෝ උපදේශන සහය ලබා ගැනීමට ද දෙමාපියන් ලෙස දැනුවත්ව සිටිය අනිවාර්ය වේ. මේ සඳහා දැනටමත් රාජ්‍ය සහ පෞද්ගලික යන දෙඅංශයේ ම පළපුරුදු සායනික සහ වෘත්තීයමය අත්දැකීම් සහිත මනෝ වෛද්‍යවරුන්, මනෝ චිකිත්සකයින්, මනෝ ප්‍රතිකාරකවරුන් සහ මනෝ උපදේශකවරුන් සේවයෙහි සක්‍රියව කටයුතු කරනු ඇත.
මේ ආකාරයෙන් වර්තමාන ගෝලීය අර්බුදයක් ලෙස ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වෛරස් තත්ත්වය යටතේ ඇතිවිය හැකි බහුවිධ මානසික සෞඛ්‍ය අර්බුදයන්ගෙන් ඔබේ දරුවා සුරක්ෂිතව රැකබලා ගැනීමට ඔබට හැකියාව ලැබෙනු ඇත.

කථිකාචාර්ය වාසනා ප්‍රනාන්දු

B.A. in Psychology (Kel’ya)

M.A. in Buddhist Ayurvedic Counselling (Kel’ya – PGIPBS)

Ad. Dip. in Psychotherapy (SLMHF)

Dip. in Counselling (SLMHF)

wasanalk.fdo@gmail.com

Related Post

1 Comment

  1. really interesting and important . I like it.

Leave a Reply