උගුර, කන හා නාසය ආශ්‍රිතව හමුවන බහුල සෞඛ්‍ය ගැටළු

උගුර, කන හා නාසය ආශ්‍රිතව හමුවන බහුල සෞඛ්‍ය ගැටළු

වර්තමානය වනවිට ලොකු කුඩා බහුතරය පිඩා විඳින රෝගී තත්ව සමුහයක් වශයෙන් උගුර කන නාසය ආශ්‍රිත රෝගී තත්වයන් පෙන්වා දිය හැක. වර්ෂාව අධික කාලයන්හි පවතින සීතල හේතුවෙන් සෙම් ගතිය වැඩිවීම, කැස්ස, උගුරේ අමාරු ආදී රෝගයන්ගෙන් පීඩාවට පත්ව වෛද්‍ය සායන කරා යොමු වන පිරිසෙහි ද වැඩි වීමක් දැක ගන්න පුලුවන් . ඔබ නිරන්තරයෙන් ගොදුරු වන උගුර, කන සහ නාසය ආශ්‍රිත රෝගී තත්වයන් කවරේද එමගින් ආරක්ෂා වන්නේ කෙසේද? යන්න පිලිබඳ සරල විග්‍රහයක් ඉදිරිපත් කිරීම මෙම ලිපියෙහි මූලික අරමුණයි. මිනිස් සිරුරේ පවතින ඉතාමත් වැදගත්ම ඉන්ද්‍රියයන් වශයෙන් උගුර, කන සහ නාසය හඳුන්වා දෙන්න පුළුවන්. මේ  ඉන්ද්‍රියන් අතර තියෙන සම්බන්ධය ඉතාමත් වැදගත්. උදාහරණයක් වශයෙන් අපේ නාසයට සෙම් රෝගයක් වැළඳුනහොත් එහි බලපෑම උගුරට මෙන්ම නාසයටත් දැනේ. එබැවින් ඇතැම් වෙලාවට කනේ අමාරුව සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට වෛද්‍යවරයෙකු වෙත යොමු වූ අවස්ථාවලදී  නාසයට බෙහෙත් දමන ලෙස වෛද්‍යවරයා නිර්දේශ කරනු ලැබේ. මේ ආකාරයටම මෙම ඉන්ද්‍රියන් තුනම රෝගී  වන අවස්ථාවන්ද දැක ගත හැක. අධිකව සෙම් තත්වයෙන් පීඩා විඳින පුද්ගලයකු උගුරේ අමාරුවකින්, කනේ අමාරුවකින් මෙන්ම සෙම්ප්‍රතිශ්‍යාවෙන්ද පීඩා විඳින ආකාරයන් දැක ගන්න පුළුවන්. ඇතැම් විට ඔබද මේ ආකාරයෙන්ම පීඩාවට පත් වී සිටින්නට ඇති.එසේත් නොමැතිනම් ඔබගේ සමීපතමයන් මේ ආකාරයට පීඩාවට පත්වෙලා සිටින්නට ඇති. පුද්ගලයන් බහුල ලෙස ගොදුරු වන මෙම ඉන්ද්‍රියන් ආශ්‍රිත රෝගී තත්වයන් අතුරින් ප්‍රාථමික සත්කාර මධ්‍යස්ථාන වෙත ප්‍රතිකාර බලාපොරොත්තුවෙන් යොමු වෙන ප්‍රධාන රෝග කිහිපයක් හඳුනා ගත හැකිය. ඒ අතුරින්;

  1. සයිනුසයිටීස් (Sinusitis)
  2. පීනස (Catarrh)
  3. නින්දෙන් ගෙරවීම (Snoring)

  සයිනුසයිටීස් (Sinusitis)

හිස් කබලේ කෝටරක වල සෙම පිරීම ලෙස සරලවම මෙම රෝගය හඳුන්වා දිය හැක. මෙම රෝගය ඇතිවන්නේ අපගේ ශ්වසන මාර්ගයේ ඉහළ කොටසේ සිදුවන ආසාධනයන් නිසා නිපදවනු ලබන සෙම හිස්‌කබලේ ඇති කුහරවල ක්‍රමක් ක්‍රමයෙන් එකතු වීමෙනි. අපගේ නාසය සමග සම්බන්ධ හිස්‌කබලේ කුහර යුගල් තුනක් දැක ගත හැකි අතර ඉන් පළමුවැන්න  ඇසට ඉහළින් නළල ප්‍රදේශයේ ෆ්‍රන්ටල් සයිනස්‌ (Frontal Sinus) ලෙසත්, දෙවැන්න ඇසට පහළින් නාසය දෙපස උඩු දත් ඇන්දට ඉහළින් මැක්‌සිලරි සයිනස්‌ (Maxillary Sinus) ලෙසත්, තෙවැන්න නාසය ඇතුළතින් එත්මොයිඩල් සයිනස්‌ (Ethmoidal Sinus) යනුවෙනුත් පිහිටා ඇත. මෙම කුහර සියල්ලම අපගේ නාස්‌ කුහරය හා සම්බන්ධ වේ. මෙම කුහරයන්ට සෙම පිරීමට හේතු සාධක කිහිපයක්  බලපානු ලැබේ. සමහර අයට උපතින්ම තියෙන පීනස හෙවත් Allergic Rhinitis ලෙස හඳුන්වන රෝගය හේතුවෙන් උදෑසන සොටු දියර ගැලීමක් සිදු වේ. බොහෝ දෙනා සිදු කරන්නේ එම සොටු දියර හොඳට සූරා එළියට නොදමා උඩට ඇදීමයි, එවිට එම සොටු දියර සයිනස්‌ කුහරවලට එකතු වේ. එමෙන්ම තවත් සමහරෙකුට දූවිලි හෝ දුම් ගතිය ඇති තැන්වලදී කිවිසුම් යාමක් සහ සොටුදියර ගැලීමට පටන් ගැනීමක් සිදු  වේ. මෙවැනි අවස්ථාවකදී ද සොටු දියර හොඳින් සූරා ශරීරයෙන් ඉවත් කිරීම සිදු කළ යුතු වූවද බොහෝදෙනා සිදුකරන්නේ ඒවා  උඩට ඇදීම වේ.  එමෙන්ම ඇතැම් පුද්ගලයන්ගේ නාසයේ ඇති මස්‌දළු වැනි රෝග තත්ත්ව හේතුවෙන් ද සුළු වශයෙන් හෝ සෑදෙන සෙම නාසයෙන් එළියට දැමීමට නොහැකි වීමෙන් එම සෙම ද සයිනස් කුහර තුළට ඒකරාශී වේ. මීට අමතරව සෙම්ප්‍රතිශ්‍යාව වැළඳුණු අවස්‌ථාවලදී ද පුද්ගලයන් ශරීරයෙන් නිසියාකාරව සෙම ඉවත් කිරීම සිදු නොකරයි.මේ ආදී හේතූන් නිසාවෙන් සයිනස් කුහර තුළ කාලයක්‌ තිස්සේ එකතුවන සෙම බැක්‌ටීරියාවල ආසාධනයට සහ පැසවීමට ලක්‌වීමත් සමග මෙම සයිනසයිටීස්‌ නැමැති ආසාධන තත්ත්වයට පුද්ගලයා ගොදුරු වේ.   මෙම සයිනසයිටීස් රෝගයට ගොදුරු වූවකු පහසුවෙන් හඳුනා ගතහැකි රෝග ලක්‍ෂණ කිහිපයකි. එනම්

  • හිසේ නළල ආශ්‍රිතව ඇතිවන දැඩි වේදනාව
  • හිසේ බර ගතිය
  • හිස පහතට හෙළා ලිවීමේදී හෝ වැඩක්‌ කිරීමේදී ඇතිවන අපහසුතාවය
  • සවස්‌ කාලයේ උණ ගතිය
  • දිවා කාලයේ ඇස්‌ ඇරගෙන සිටීමට ඇති අපහසුතාවය සහ තද නිදිමත
  • හිස්‌කබලේ කුහර ඇති තැන් ඇඟිල්ලෙන් තද කරන විට දැඩි වේදනාවක්‌ ඇතිවීම.

  පීනස් තත්වයට සහ සෙම අඩු කර ගැනීම සඳහා ප්‍රතිකාර ලබා ගැනීම මෙන්ම වෛද්‍ය නිර්දේශය මත සති දෙකක පමණ කාලයක්‌ ප්‍රතිජීවක ඖෂධ ලබා ගැනීම සහ සයිනස් කුහර වල ඒකරාශී වී ඇති සෙම, හුමාලය ආශ්වාස කිරීම තුළින් ශරීරයෙන් ඉවත් කිරීමට කටයුතු කිරීම ආදියෙන් රෝගයට ගොදුරු වූවන්ට සහනයක් ලබා ගත හැකිය. නමුත් මෙම ක්‍රමවේදයන්ගෙන් සහනයක් නොලැබේනම් උගුර කන නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකු වෙත යොමුවී එක්ස් කිරණ පරීක්ෂාවක් සිදු කිරීමට  සහ සයිනස්‌වල එකතු වී ඇති සෙම ඉවත් කර සේදීම කළ යුතුය. මේ ආකාරයට එදිනෙදා ජීවිතයට දැඩි බලපෑමක් එල්ල කරන රෝගී තත්වයක් වශයෙන් හඳුනා ගත හැකි සයිනසයිටීස් රෝගයට හේතු වනුයේ ඔබේම චර්යාවන්හි ප්‍රතිඵලයන්ය. ඔබ රාත්‍රී කාලයේ ස්‌නානය කිරීම සහ තෙත කොණ්‌ඩය පිටින් නිදා ගැනීම, නිරතුරුවම සීතල වතුර පාවිච්චි කිරීම යනාදි අයහපත් සෞඛ්‍ය පුරුදු වලට යොමු වී ඇත්නම් ඔබටත් මෙම රෝගය ඇතිවීමේ ඉහළ අවදානමක් ඇත. එබැවින් ඔබේ සෞඛ්‍ය ඔබම රැක ගැනීමට කටයුතු කල යුතුය.  

පීනස (Catarrh)

අධික සීතල, දූවිල්ල හා මල් පරාග ආදියට දක්වන ආසාත්මිකතාවයක් පීනස වශයෙන් සරලවම හඳුන්වන්න පුළුවන්.  සමහර රෝගීන්ට මෙම පීනස් තත්වය එක් කාලයකට පමණක් ඇති විය හැකි (Seasonal Rhinitis)  අතර සමහර රෝගීන්ට දීර්ඝ කාලයක් පුරා (Perennial Rhinitis) මෙම තත්වය පැවතිය හැකියි. නාසය කැසීම, නාසය ඉදිමීම, නාසයෙන් සොටු දියර ගැලීම, උගුර කැසීම, නිතර උගුර පෑදීමට සිදු වීම, ඇස් කැසීම, ඇස් රතුවීම සහ සම කැසීම වැනි රෝග ලක්‍ෂණ වලින් එකක් හෝ කිහිපයක් මෙම රෝගීන් තුළ පොදුවේ දැකගත හැක  මෙම පීනස් රෝගයට ගොදුරු වූවන්  හට ඊට අමතරව ඇදුම රෝගය හා සමේ දද  යනාදිය ඇති වීමට ඉඩ ඇති අතර බොහෝ අවස්ථාවන්හීදී මෙයින් එක් රෝගයක් පළමුව ඇති වී පසුව අනෙක් රෝග ඇති වන අවස්ථා දැකගත හැකිය. ළමුන් තුළ මෙම රෝග තත්ත්වය බහුල වන අතර ලංකාවේ ළමුන්ගෙන් 30-40% ද  වැඩිහිටියන්ගෙන් ද  10-20% වැනි ප්‍රතිශතයක් මෙම රෝගයෙන් පීඩා විඳින ආකාරය දැක ගැනීමට හැකියාව ඇත.     අධික සීතල හෝ අධික රස්නය, ඉහළ පරිසර ආර්ද්‍රතාවය හෙවත් ජල වාෂ්ප වැඩි බව, වැසිබර පරිසර තත්ත්ව වැනි කාළගුණ විපර්යාස හේතුවෙන් මෙම පීනස් තත්වය ඇතිවීමට හෝ රෝග ලක්ෂණ මතු වීම සහ රෝගය උත්සන්න වීමක් සිදුවිය හැකියි. මීට අමතරව අප ගන්නා ආහාරයන්ද පීනස අඩු වැඩි වීම කෙරෙහි මෙන්ම පීනස ඇති වීම කෙරෙහිද බලපානු ලැබේ.මෙසේ රෝග ලක්ෂණ මතුවන්නේ පීනස වැළදීමට සම්භාවිතාවක් පවතින පුද්ගලයන් අතරයි. පීනස් රෝගීන්ගේ ආහාර රටාව ගැන අවධානය යොමු කිරීමේදී ශීත කළ ආහාර වර්ග, ශීත කළ පාන වර්ග හා තැඹිලි සෑම රෝගියෙකුටම අහිතකරව බලපාන බවත් අන්නාසි, තක්කාලි, අච්චාරු, බිත්තර, කිරි, රටකජු, වර්ණ ගැන්වූ පැණි බීම වැනි ආහාර පාන වර්ග එක් එක් රෝගියාට වෙන් වෙන් වශයෙන් බලපෑම් සිදු කරන බවත්ය. මේවා අසාත්මික කාරක (allergens) ලෙස හදුන්වා දිය හැකියි. මීට අමතරව බූල් සහිත රෙදි මෙන්ම කාපට්, විසිතුරු භාණ්ඩ, මදුරු දැල්, ඇඳ ඇතිරිලි වල පවත්නා දුවිලි සෑම රෝගියෙකුටම පාහේ අහිතකර ලෙස බලපෑමට හැකියාව ඇත. එමෙන්ම දුම් වැටි වලින් හෝ දර ලිපෙන් ඇතිවන දුම, සුවඳ විලවුන් වර්ග, මදුරු නාශක දඟර වලින් ඇති වන දුමද මෙම රෝගීන්ට අහිතකරය. විදුලි පංකා සහ වායු සමීකරණ භාවිතයද මොවුනට ගුණ නැත. මීට අමතරව පීනස් රෝගීන් මතක තබා ගතයුතු වැදගත් කරුණක් වන්නේ රාත්‍රීයේදී දිය නෑම පීනස ඇති වීම හෝ උත්සන්න වීම කෙරෙහි බලපෑම් ඇති කරන ප්‍රබල සාධකයක් බවයි. පීනස යනු නිට්ටාවට සුව කළ හැකි රෝගයක් නොවේ. නමුත් මෙම රෝගය සඳහා තිබෙන ඖෂධ වර්ග වෛද්‍ය උපදෙස් අනුව ක‍්‍රමානූකූලව භාවිතයෙන් ඔබට වඩාත් ආරක්‍ෂාකාරී විය හැකියි. එමෙන්ම අපේ ජීවන රටාව නිසියාකාරව සකසා ගැනීම තුලින් මෙම රෝගී තත්වය  උත්සන්න නොවී එදිනෙදා කටයුතු කරගෙන යාමට ඔබට අවස්ථාව හිමිවනු ඇත. උදාහරණයක් වශයෙන් ඔබ උදෑසන අවදිවිය යුතු පුද්ගලයකුනම් පීනසෙන් ආරක්ෂා වී ඔබගේ කටයුතු සාර්ථකව ඉටු කර ගැනීමට ඔබට අනුගමනය කළහැකි ක්‍රියාමාර්ග කිහිපයකි. එහිදී ශරීරය උණුසුම්ව තැබිය හැකි ඇඳුම් ඇඳීම, දොර ජනෙල් වසා තැබිම, උණුසුම් පාන වර්ග භාවිතා කිරීම, හැකිනම් කාමර උණුසුම්ව තබන උපකරණ (Heaters), උඳුන් පාවිච්චිය වැනි ක්‍රම තුලින් ඔබට රෝගය වැළඳීමේ හෝ රෝග ලක්‍ෂණ උත්සන්න වීමේ ඇති හැකියාව අවම කර ගත හැකියි.  

නින්දෙන් ගෙරවීම (Snoring)

අපි හැමෝම දවස අවසානයේ සුවබර නින්දක් ලබා ගන්න අපේක්ෂා කරන්නේ කෑම බීම තරමටම නින්දත් අපේ ශරීරයට අත්‍යාවශ්‍ය නිසා. නමුත් සමහර අවස්ථාවලදී  අපේ නින්දට විවිධ හේතූන් නිසා බාධා ඇති වේ. එහි ප්‍රතිඵලය ලෙස පුද්ගලයා කායිකව මෙන්ම මානසිකව ද  ගැටළු සහගත තත්වයන් වලට කාලයක් ගතවීමත් සමග ගොදුරු වේ. ඇතැමුන් නින්දේ දී ගොරවන අයුරු ඔබ දැක ඇති. නැත්නම් ඔබත් නින්දෙන් ගොරවන පුද්ගලයෙකු විය හැකියි. බොහෝ දෙනා එය සුව නින්දක සලකුණක් ලෙස සැලකුවද එය ඇත්තටම එසේද යන්න සැක සහිතයි. ඇත්තටම මොකද්ද මේ නින්දෙන් ගොරවනවා කියලා කියන්නේ කියලා ඔබ මීට කලින් හිතලා තියෙනවද? ගොරවනවා කියලා අපිට ඇහෙන්නේ අපි නින්දෙන් හුස්ම ගන්නකොට ඒ ගන්න හුස්ම ගමන් කරන මාර්ගයේ යම්කිසි අවහිරතාවයක් ඇති වීම නිසා අමාරුවෙන් ගමන් කරන වාතයේ ශබ්දය වේ.  ඒකෙන් කියවෙන්නෙ අපි නිදා ගන්න ඉරියව්වේ වැරද්දක් හරි අපේ ශ්වසන පද්ධතියේ යම්කිසි ගැටලුවක් හරි පවතිනවා කියන එක. ඇයි පුද්ගලයෙකු නින්දෙන් ගොරවන්නේ කියලා හොයලා බැලුවොත් අපිට හේතු සාධක කිහිපයක් මූලික වශයෙන් හඳුනා ගන්න පුලුවන්. ඕනෑම අයෙකු තද නින්දට වැටෙන විට ඔහුගේ මාංශ පේශි ලිහිල්වීමත් සමග ගෙරවීම වැඩිවෙනවා. මෙහිදී මුඛයේ පිහිටීම අනුව කෙටි තල්ලක් තියෙන කෙනෙකුගේ වාතය ගමන් කරන්න තියෙන මාර්ගය කෙටි වීම, නින්දට පෙර මත්පැන් භාවිතා කිරීම නිසා උවමනා ප්‍රමාණයට වඩා ශ්​වසන මාර්ගයේ මාංශ පේශීන් ලිහිල් වී පැවතීම,  නාසයේ හෝ උගුරේ අසාමාන්‍ය තත්ත්වයන් පිහිටා තිබීම , පෙර දිනයකදී හොඳ නින්දක් ලැබී නොතිබීම,  වැරදි ඉරියව්වකින් නිදා ගැනීම හේතුවෙන් ශ්වසන මාර්ගය පටුවීම යනාදිය පුද්ගලයා නින්දෙන් ගෙරවීමට හේතු වෙන්න පුළුවන්. නැවත නැවතත් සිදුවන ශ්​වසන ක්‍රියාවලිය නැවතීම හා ආරම්භ වීම නිසා ඇතිවෙන නින්දේ අක්‍රමවත් බවට සම්බන්ධ රෝගයක් වන Obstructive Sleep Apnea රෝගයෙහි රෝග ලක්ෂණයක් වශයෙන් ද අපට ගෙරවීම හඳුන්වා දෙන්න පුළුවන්. මෙම රෝගයට ගොදුරු වූවන් කොතරම් නිදා ගත්තද ඔවුන්ට අධික මහන්සියක් දැනෙන බව පවසයි. ඔබත් නින්දෙන් ගොරවනවානම්, මේ වගේ වෙලාවකදි ඔබට කරන්න තියෙන්නේ සුදුසුකම් ඇති වෛද්‍යවරයකු වෙත යොමු වෙලා ඔබේ ගැටලුව ඉදිරිපත් කරන එක. එහිදී වෛද්‍යවරයා විසින් විවිධ ක්‍රමවේදයන් අනුගමනය කරමින් ඔබගේ සෞඛ්‍ය තත්වය පිළිබඳ පරීක්ෂා කර බලනු ලැබේ. මෙහිදී රෝග ඉතිහාසය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමෙන් පසුව වෛද්‍යවරයා විසින් X-Ray හෝ එතනින් එහාට ගිය පරිගණකගත ස්කෑන් පරීක්ෂණ වලට යොමුවන ලෙස ඔබට උපදෙස් ලබා දේ. ඇත්තටම නින්දෙන් ගොරවන පුද්ගලයෙකුට සිදු කරන මූලිකම වෛද්‍ය  නිර්දේශ ඉතාම සරලය. උඩුබැලි අතට නිදා නොගැනීම, නිදා ගන්න වෙලාවට ආසන්නව මත්පැන් භාවිත නොකිරීම, ශරීරයේ බර අඩු කර ගැනීම පෙන්වා දියහැක. මෙම උපක්‍රමයන් හරහා ඔබේ ගැටළුව විසදගන්න නොහැකිනම් මුඛ ආවරණයක් හෝ මුඛයට පළඳින උපකරණයක් භාවිතා කර මෙම ශ්වසන අපහසුතා ඇතිවීම වලක්වා ගැනීමට හැකියාව තියෙනවා. මේ ක්‍රමවේදයන් සියල්ල අසාර්ථක නම් පමණක් ඔබට ශල්‍ය කර්මයක් තුළින් ශ්වසන පද්ධතියේ ඉහළ කොටසේ පවත්නා ගැටලුව නිරාකරණය කර ගැනීමේ හැකියාවක් තියෙනවා.