දියවැඩියාව සහ ඇස

දියවැඩියාව සහ ඇස

වර්තමානය වන විට ලාංකාවේ බෝ නොවන රෝග අතුරින් දියවැඩියාවට හිමිවනුයේ ප්‍රමුඛ ස්ථානයකි.  මේ සඳහා ප්‍රධානතම හේතු සාධකය වී ඇත්තේ පුද්ගලයා තුළ පවත්නා අවිධිමත් ආහාර රටාවත්, ආසියාතිකයින් වශයෙන් ඊට අපගේ පවතින ප්‍රවේණිගත නැඹුරුතාවත්ය. ක්ෂණික ආහාර වලට ඇති රුචිය හේතුවෙන් රුධිරගත ග්ලුකෝස් මට්ටම ඉහළ යාමෙන්  කුඩා දරුවන් පවා මේ වන විට දියවැඩියා රෝගයෙන් පීඩා විඳින ආකාරය දැක ගත හැක.

දියවැඩියාව ගැන ඇසූ පමණින් අපේ සිතට එන්නේ එමගින් රුධිරයේ ග්ලුකොස් මට්ටම ඉහළ යාමේ තත්වයක් ලෙසයි. නමුත් එයට වඩා යථාර්ථය වෙනස්ය. වයස් භේදයකින් තොරව සියලු දෙනා මුහුණ දී ඇති මෙම රෝගී තත්වය හේතුවෙන් ප්‍රධාන වශයෙන් ඇස, වකුගඩු, පාද, හෘදය වස්තුව සහ රුධිර සංසරණ පද්ධතියට බලපෑම් සිදුකරයි. මින් වඩාත් අහිතකර බලපෑම්  ඇති වන ඇස සහ වකුගඩු අකර්මණ්‍ය වීමෙන් පුද්ගලයා බොහෝ අපහසුතාවට පත්වෙමින් නිධන්ගත රෝගීන් ලෙස කාලය ගෙවයි. පාලනය නොවූ දියවැඩියාව නිසා මෙම ඉන්ද්‍රියන්ට වන හානිය නැවත ප්‍රකෘති තත්වයට පත් කිරීමට නොහැකි වීම එයට හේතුවයි.

දියවැඩියාවේ ප්‍රභේද 2ක් දක්නට ලැබේ.  මේ ප්‍රභේද දෙකෙහිම රෝගීන්ට අනිත් සාමාන්‍ය අයට වඩා ඇස්වලට සිදුවිය හැකි හානිය ඉතා ඉහලය. කාලයක් තිස්සේ රුධිරයේ සිනි මට්ටම හොදින් පාලනය නොවූ දියවැඩියා රෝගීන්ගේ, කාලයේ ඇවෑමෙන් ඇසේ අභ්‍යන්තරයේ දෘෂ්ටි විතානයේ පිහිටා ඇති සියුම් රුධිර වාහිනී වලට හානි සිදුවේ. මෙම තත්වය හදුන්වන්නේ දියවැඩියාව නිසා ඇසේ දෘෂ්ටි විතානයේ ඇතිවන හානීන් (Diabetic Retinopathy) ලෙසයි. 

ඩයබෙටික් රෙටිනොපති (Diabetic Retinopathy)

මෙම තත්වය ලොව පුරා මිලියන 7.7 ක ප්‍රමාණයක් අන්ධතාවයට පත්කරන තත්වයකි. මේ අතරින් ලොව පුරා වැඩකරන වයස් සීමාවට අයත් පුද්ගලයන් බහුතරයක් අන්ධ භාවයට පත්වීමට ප්‍රධානතම හේතුව වන්නේ මෙයයි.  

මෙම තත්ත්වය ඇතිවන්නේ දියවැඩියාව පාලනය නොවූ රෝගීන්ගේ ඇසේ අභ්‍යන්තරයේ ඇති දෘෂ්ටි විතානය (Retina) ආශ්‍රිත පටක වලටයි. දියවැඩියාව වැළදුණු රෝගීන් 3 දෙනෙකු ගෙන් එක අයෙකුට මෙම තත්ත්වය ඇතිවිය හැකි අතර මේ අතරින් බහුලවම දක්නට ඇත්තේ නන්-ප්රෝලිෆරේටිව් ඩයබෙටික් රෙටිනොපති (Non-Proliferative Diabetic Retinopathy) නම් වූ එතරම් හානිකර නොවූ තත්ත්වයකි.

මෙම තත්ත්වයේ පසුවන රෝගීන් කාලයේ ඇවෑමෙන් රුධිරයේ සීනි මට්ටම පාලනය නොවුනහොත් ඉතා දරුණු තත්ත්වයක් වන ප්රෝලිෆරේටිව් ඩයබෙටික් රෙටිනොපති (Proliferative Diabetic Retinopathy) නම් තත්ත්වයට පත්වේ. ප්රෝලිෆරේටිව් ලෙසින් හදුන්වන්නේ ඇසේ දෘෂ්ටි විතානයේ තිබෙන රුධිර වාහිනී වලට අමතරව නව රුධිර වාහිනී වර්ධනය වීමේ තත්ත්වයකි. මෙම අලුතෙන් වර්ධනය වන රුධිර වාහිනී ඉතා සියුම් හා පහසුවෙන් හානිවිය හැකි ඒවා වන අතර, ඒවා හානිවීමෙන් ඇසේ අභ්‍යන්තරයට රුධිරය හා සියුම් ශ්‍රාවයක් වහනය වීමට ඉඩකඩ ඇතිවේ. කාලයක් තිස්සේ සිදුවන මෙම ක්‍රියාවලිය නිසා ඇසේ දෘෂ්ටි විතානයේ නැවත ගොඩනැගිය නොහැකි ලෙස පටකවල හා තරලයන්හි වෙනස්කම් සිදුවී අවසානයේ පෙනීම නැතිවී අන්ධභාවයට පවා පත්වීමට හේතුවේ.

දියවැඩියාව නිසා ඇසේ දෘෂ්ටි විතානයේ පිහිටා ඇති කහ ලපයේ ද, (Macular) වෙනස්කම් සිදුවේ. එහි සිදුවන ඉදිමුම (Macular Oedema) නිසා ඇසේ මධ්‍ය දෘෂ්ටියට (Central Vision) බාධා සිදුවේ. මෙම ඉදිමුම ඇතිවන්නේ රුධිරවාහිනි වලට සිදුවන හානිය මගින් ශ්‍රාවය වන තරලයන් එහි එක්රැස් වීම නිසාය. කහ ලපයට වන හානිය නිසා   පොත්    කියවීම, රිය පැදවීම හා සියුම් දේවල් නිරීක්ෂණය වැනි දේවල්වලට බාධා ඇතිවේ.

මේ නිසා ඇසේ ඇතිවන මෙම සියුම් හා හානිකර තත්ත්වයන් රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීමෙන්, රුධිර පීඩනය පාලනය කිරීමෙන් හා රුධිරයේ කොලොස්ටරෝල් මට්ටම පාලනය කිරීමෙන් වලක්වා ගත හැකිබව සනාථ වී තිබේ. මෙම දෘෂ්ටි විතානයේ සිදුවන හානීන් මුල් අවස්ථාවේ හදුනාගතහොත් එයට සිදුකල හැකි ප්‍රතිකාර ක්‍රම මගින් රෝග උත්සන්න වීමේ වේගය අඩුකරගැනීම හෝ එය නැවත යථා තත්ත්වයට පත්කළ හැකිය.

මේ නිසා දියවැඩියාව සහිත රෝගියෙක් අවම වශයෙන් වසරකට වරක්වත් අක්ෂි පරීක්ෂාවක් කරගැනීමෙන් සිදුවිය හැකි වෙනස්කම් හදුනා ගත හැකි අතර එම අවස්ථාවන්හිදී, ඇසේ අභ්‍යන්තරය සාමාන්‍ය තත්ත්වයේ නම් වසර 2කට හෝ 3කට වරක් ඇස් පරික්ෂා කිරීම ප්‍රමාණවත් වේ.

ලෝකයේ තාක්ෂණය දියුණුවීමත් සමග, දෘෂ්ටි විතානයේ සිදුවන වෙනස්කම් සදහා ප්‍රතිකාර කිරීමේ ක්‍රමවේදයන්ද දියුණුවී ඇත. සාමාන්‍ය හානියක් සිදුවී ඇති අවස්ථාවල ලේසර් කිරණ මගින්, දෘෂ්ටි විතානයේ රුධිර වාහිනී වලට හානි සිදුවී ඇති ස්ථානවලට හෝ නව රුධිර වාහිනී වර්ධනය වන ස්ථානවලට වී ඇති හානිය නිවැරදි කරගත හැකිය. මෙමගින් පෙර පෙනුමට ආසන්න පෙනුමක් බොහෝ අවස්ථාවල ලබාගත හැකි අතර රුධිර වාහිනී හානිවී ඉන් රුධිරය වහනය වීමට පෙර මෙම ලේසර් කිරණ ප්‍රතිකාරය කරන්නේ නම් ප්‍රතිපල ඉතා සාර්ථක වේ.

මිට අමතරව ඇසේ දෘෂ්ටි විතානයේ සියුම් රුධිර වාහිනිවලට හානි සිදුවී ඉන් ඇසේ අභ්‍යන්තරයේ රුධිරය වහනය වී ඇත්නම් ඒ සදහා ඇසේ ඇති කාච රසය (Vitreous) නම් වූ ජෙලිමය ශ්‍රාවය ඉන් ඉවත්කර, හානි වූ හා අලුතෙන් වර්ධනය වූ, රුධිර නාලිකා ඉවත්කිරීම සිදුකෙරේ. මෙය විට්‍රෙක්ටෝමි ශල්‍යකර්මය (Vitrectomy) ලෙස හදුන්වනු ලැබේ. මිට අමතරව දියවැඩියාව නිසා ඇසේ දෘෂ්ටි විතානයේ ඉරීම් (Tears) හා ගැලවීම් (Retinal Detachments) සඳහා දියුණු ලේසර් ප්‍රතිකාර සහ ශල්‍ය කර්මද පවතී. කහ ලපය ඉදිමුම (Macular Oedema) සඳහාද එම ස්ථානය වටේම සියුම් හා සංයමයෙන් සිදුකරන ලේසර් කිරණ ප්‍රතිකාර හා ඇසේ කාච රසය (Vitreous) තුලට නික්ෂේපනය කරන එන්නත් මගින් එහි ඉදිමුම් ශ්‍රාවයන් එකතුවීම පාලනය කරගත හැක.

උදාහරණ Avastin and Lucentis

දියවැඩියාව සහ ඇසේ සුද

දියවැඩියාව නිසා හානි සිදුවන්නේ දෘෂ්ටි විතානයට (retina) පමණක් නොවේ. එමගින් ඇසේ කාචයටද බලපෑම් ඇතිවන අතර, දියවැඩියාව නැති අයෙකුට වඩා දියවැඩියා රෝගියෙකුට ඇසේ සුද (Cataract) ඇතිවී පෙනීමට බාධා ඇතිවේ. ඇසේ සුද මගින් කාචයේ පාරදෘශ්‍යභාවයට හානි සිදුවන අතර, එමගින් පෙනීමේ බොඳ ගතියක්, මිහිදුම් වැනි තත්ත්වයක් දර්ශනය වේ.  දියවැඩියාව ඇති පුද්ගලයකුට මෙම රෝග ලක්ෂණය ඇත්නම් අක්ෂි ශල්‍ය වෛද්‍යවරයකු හමු වී පුර්ණ අක්ෂි පරීක්ෂාවක් සිදු කර ගැනීම ඉතා වැදගත් වේ. එම රෝග ලක්ෂණය ඇතිවීමට හේතුව ඇසේ සුද මතුවීමද, නැතහොත් වෙනත් බැරෑරුම් තත්වයක් නිසාද යන්න කල් ඇතිව හදුනාගැනීම යෝග්‍ය වේ. ඇසේ සුද ඇත්නම්, එය ඉතා සුළු ශල්‍යකර්මයකින් ඉවත් කර කෘතීම කාචයක් ඇසට තුලට දමා, පෙනීම යථා තත්වයට පත් කර ගත හැක.

අවසාන වශයෙන් අප තේරුම් ගතයුතු කාරණාව වන්නේ දියවැඩියා රෝගයෙන් ඔබ හෝ ඔබේ ළබැදියන් පෙලෙන්නේනම්, ඇසේ රෝග ලක්ෂණ මතුවිමටත් ප්‍රථම ඔබේ ඇස සුදුසුකම් ලත් වෛද්‍යවරයකු ලවා  වසරකට වරක්වත් පරික්ෂා කර ගැනීමයි.  එසේ පරික්ෂාවේදී හදුනා ගන්නා ඇසේ විවිධ තත්වයන්ට නවීන එමෙන්ම  සාර්ථක  ප්‍රතිකාර ක්‍රම තිබේ. ඒ ප්‍රතිකාර ක්‍රම සියල්ලටත් ඉහලින් තමාගේ දියවැඩියා තත්වය පාලනය වැදගත් වේ. එබැවින් ප්‍රමාදයෙන් තොරව දියවැඩියාවෙන් ඔබගේ ඇස රැක ගැනිමට යොමුවන්න.