ටෙලි මෙඩිසින් සහ COVID-19

ටෙලි මෙඩිසින් සහ COVID-19

රෝගීන් සමග දුරස්ථව සිට ගනුදෙනු කිරීමේ ක්‍රමයක් වන (Telemedicine) ටෙලි මෙඩිසින් හෙවත් දුරස්ථ වෛද්‍ය සේවාව යන සංකල්පය බටහිර රටවල ඉතා අතීතයේ සිට පැවත එන්නකි. ශ්‍රී ලංකාවේද MyDoctor වැනී ආයතන හරහා  2017 වසරේ සිටම මෙවන් සේවාවන් පැවතිනි. මෙහිදී මුලිකවම තොරතුරු සහ සන්නිවේදන තාක්ෂනය ඔස්සේ රෝගී පුද්ගලයා සහ වෛද්‍යවරයා මුණගැසීම සිදුවෙයි.

ටෙලි මෙඩිසින් සංකල්පය මගින් රෝගියා සහ වෛද්‍යවරයා මුලික වශයෙන් ශ්‍රව්‍ය සහ දෘශ්‍ය මාධ්‍ය වලින් සම්බන්ධ වීමට අවස්ථාව ලැබේ. මෙහිදී මෘදුකාංගයක් මගින් ඔවුන් සම්බන්ධ වීම   සිදුවන අතර එහිදී රෝගියාට ඇති මෘදුකාංගය මගින් ඔහුට අවශ්‍ය වෛද්‍යවරයා තේරීමෙන් පසුව එම වෛද්‍යවරයා සමග ශ්‍රව්‍ය හෝ දෘශ්‍ය මාධ්‍ය වලින් සම්බන්ධ වී තමාගේ සෞඛ්‍යය ගැටළු නිරාකරණය කරගැනීමටත්, රෝග විනිශ්චයන් ලබාගැනීමටත් රෝගියාට පහසුකම ලැබේ. ඇතැම් මෘදුකාංගවල තවත් නවීකරණයක් ලෙස වෛද්‍යවරයා රෝගය පරික්ෂ කිරීමෙන් පසුව ඔහුට අවශ්‍ය ඖෂධ වලංගු ඩිජිටල් බෙහෙත් වට්ටෝරුවක් මගින් ලබාදීමත් එහිදී රෝගියාට තමාට කැමති ඖෂධ ශාලාවකින් එය නිවසටම ගෙන්වා ගැනීමේ පහසුවත් සලසා ඇත. තවද රෝගියාගේ රෝග විනිශ්චය සදහා වෛද්‍යවරයාට කැමති නම් රුධිර හෝ වෙනත් සාම්පල් පරීක්ෂාවක් කිරීමට මෘදුකාංගය මගින්ම අදාල පර්යේෂනාගරයකට පැවරීමේ පහසුකම ඇත. මෙහිදී අදාල වාර්තාව පර්යේෂණාගාරය විසින් මෘදුකාංගයට ම නැවත එක කිරීමෙන් පසුව වෛද්‍යවරයාට එය විමසා බලා රෝග විනිශ්චය කිරීමේ පහසුව ලැබේ.දැනට පවතින වාතාවරණය යටතේ Covid 19 වසංගත තත්ත්වය පාලනය කිරීමට ටෙලි මෙඩිසින් සංකල්පය ඉතා වැදගත්වේ.

මේ වන විට Covid 19 වසංගත තත්ත්වය නිසා ලෝකය පුරා මිනිසුන්ගේ එදිනෙදා ජීවිතය පවා අඩපන වී ඇති අතර,  එයට කෙනෙකු ඉන්නා ස්ථානය, වයස, හෝ ආදායම් තත්ත්වය යන මේ කිසිදු සාධකයක්  බලනොපායි. සෞඛ්‍ය සේවා වලටද ඉමහත් බලපෑමක් Covid 19 වසංගතය ඇති කර ඇත.

සෞඛ්‍ය සේවා වලට ඇති අධික ඉල්ලුම නිසා එම ඉල්ලීමට සරිලන සැපයුම ලබාදීමට නොහැකිව ලෝකයේ බොහෝ රටවල් වල සෞඛ්‍ය සේවා අඩපන වී ඇත.TeleMedicine (ටෙලි මෙඩිසින්) සංකල්පය මෙහිදී ඉතා වැදගත් වේ. එහිදී රෝගියා මුල් අවස්ථාවේ හදුනාගැනීමටත්, රෝගියාව සෞඛ්‍ය සේවා සමග ඉතා පහසුවෙන් සම්බන්ද කිරීමටත් අවස්ථාව ලැබේ. තවද, අදාළ රෝගීන් අදාල ප්‍රතිකාර අංශවලට ඉක්මනින් යොමු කිරීමට හැකියාව ලැබෙන නිසා සෞඛ්‍ය සේවා වල කාර්යක්ෂමතාවය වැඩි කිරීමට ඉවහල් වේ. ශ්‍රව්‍ය සහ දෘශ්‍ය මාධ්‍ය මගින් රෝගියාගේ රෝග විනිශ්චය කිරීමට මෙන්ම සමාජයේ රෝගීන් විශාල ප්‍රමාණයකට එකවර සේවා සැපයීමටත් මේ නිසා හැකියාව ලැබේ.
ටෙලි මෙඩිසින් සේවාව මගින් රෝගීන්ට ඔවුන්ගේ ගැටළු නිරාකරණය කර ගැනීමටත්, ඔවුන්ගේ රෝග ලක්ෂණ පරික්ෂා කරගැනීමටත්, අදාල වෛද්‍ය අංශ සමග ඉක්මනින් සම්බන්ධ වීමට ලැබීමත් සිදුවේ.

ටෙලි මෙඩිසින් සේවාවේදී රෝගීන් භෞතිකව පරික්ෂා කිරීමේ අවස්ථාව වෛද්‍යවරුන්ට අවම වුවත්, ඔවුන්ට රෝග ලක්ෂණ සහිත රෝගීන්ව නියමිත පරීක්ෂණ මධ්‍යස්ථානවලට ප්‍රමාදයකින් තොරව යැවීමට මෙන්ම, ඒ හා සම්බන්ධව සෞඛ්‍ය නිලධාරීන් ව දැනුවත් කිරීමටත් අවස්ථාව ලැබේ.
එත් සමගම සාමාන්‍ය ජනතාවට ටෙලි මෙඩිසින් සේවාව මගින් රෝග පිලිබඳ විස්තර දැනගැනීමටත්, එය වලක්වා ගැනීම සහ වසංගත තත්ත්වය පාලනය පිළිබඳව සෞඛ්‍ය සේවා නිලධාරින්ගෙන් තොරතුරු ලබාගැනීමටත් හැකියාව ලැබේ. තවද රෝහල් වලදී ටෙලි මෙඩිසින් සේවාව මගින් රෝගය බෝවීමට වැඩි අවධානමක් සහිත රෝගීන්ගේ අසලට නොයා ශ්‍රව්‍ය-දෘශ්‍ය මාධ්‍ය සහ කැමරා භාවිතය මගින් දුරස්ථව ඔවුන්ගේ තත්ත්වය පරික්ෂ කිරීමට සෞඛ්‍ය සේවා නිලධාරීන්ට අවස්ථාව ලැබේ.

මේ මගින් නිතරම සෞඛ්‍ය සේවා නිලධාරීන් විසින් විශේෂිත ආවරණ පැළද රෝගීන්ගේ කාමරවලට වැඩි වාර ගණනක් ඇතුල්වීම වලක්වා ගැනීමට හැකියාව ලැබේ. තවද ටෙලි මෙඩිසින් සේවාව මගින් ප්‍රතිකාර අවශ්‍ය නොවන ජනතාව අනවශ්‍ය ලෙස රෝහල්වලට ඇතුල්වීම වැලැක්වීම මගින් රෝහල් ආශ්‍රිතව බෝවන රෝග ව්‍යාප්තිය පාලනයටත් විශේෂයෙන් කාලීනව Covid 19 වෛරසය ව්‍යාප්ත වීම වලක්විමටත්, මෙන්ම ඔවුන්ව අනවශ්‍ය ලෙස පෝලිම් වල සිටීමෙන් වලක්වා නිවෙස් වලම ආරක්‍ෂිත ලෙස සිටීමට ඉඩකඩ ලැබේ. තවද, වයස්ගත අය මෙන්ම, ප්‍රතිශක්තිකරණය අඩු ජනතාව දුරස්ථව රැකබලා ගැනීමට මේ මගින් ඉවහල් වේ.  මෙම වසංගත අවස්ථාවේ සෞඛ්‍ය සේවා ආයතන, රජයේ සෞඛ්‍ය සේවා සපයන ආයතන විසින් රෝග පාලනයට යොදාගන්නා උපක්‍රමයක් ලෙස ටෙලි මෙඩිසින් සංකල්පය භාවිත කිරීම වැදගත් වන අතර එය අනිවාර්යෙන්ම රෝගීන්ට අනවශ්‍ය අවදානමකින් තොරව සෞඛ්‍ය සේවා ලබාගැනීමට ඉවහල් වනු ඇති

වෛද්‍ය හර්ෂ ජයකොඩි 
MBBS (Sri Lanka), MBA in Health Admin (Malaysia), MSc in Biomedical Informatics (Sri Lanka) 
නිර්මාර්තෘ – මයි ඩොක්ටර් සේවාව