කොරෝනා වෛරසය ,එය වළක්වාගැනීම සහ ඒ සදහා සිදු කරන පරීක්ශණ.

කොරෝනා වෛරසය ,එය වළක්වාගැනීම සහ ඒ සදහා සිදු කරන පරීක්ශණ.

වර්ෂ 2019 දෙසැම්බර් මාසයේ චීනයේ වුහාන් නගරයෙන් ආරම්භ වූ කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය මේ වන විට මුළු ලෝකයේම අවධානය දිනාගත් රෝගයක් බවට පත්ව ඇත. ලොව පුරා ලක්ෂ 5කට අධික පිරිසක් මේ රෝගයට ගොදුරු වී ඇති අතර 25000කට අධික පිරිසක් මියගොස් ඇත. ශ්‍රී ලංකාවේද රෝගීන් 100කට අධික පිරිසක් සොයාගෙන ඇත. වෛරසය මූලික වශයෙන් වාතය ආශ්‍රිතව බෝවන (Airbourne) වෛරසයක් වන අතර මුලිකව මිනිසුන් අතර පැතිරෙන ආකාර 2කි. එක් ආකාරයක් නම් රෝගියෙක් අප ආසන්නයේ කිවිසුම් හෝ කහින විට ඔහුගේ කෙල හෝ සේම අපගේ මුහුණට වැදීමෙන් සහ රෝගියෙකුගේ කෙල හෝ සෙම තැවරුණු තැනක් නිරෝගී කෙනෙක් ඇල්ලීමෙන් පසුව ඔහු අත් නොසෝදා ඔහුගේ නාසය, මුඛය සහ ඇස් ස්පර්ශ කිරීමෙනි. රෝගයේ බීජෞෂණ කාලය නැත්නම් රෝග ලක්ෂණ පෙන්වීමට දින 2ත් 14ත් අතර කාලයක් ගතවේ. මුලික වශයෙන් ස්වසන පද්ධතිය ආශ්‍රිත රෝග ලක්ෂණ ඇතිවන අතර, පළමුවෙන්ම උගුර ආශ්‍රිතව ඇතිවන වේදනාවක් සහ වියලිමක් ඇතිවේ. මෙහිදී කටහඩ වුවද වෙනස් විය හැක. තවත් අයට සෙම්ප්‍රතිශ්‍යාව ආශ්‍රිත රෝග ලක්ෂණ ඇතිවිය හැකි අතර හිසරදය සහ මද පාචනය ගතිය ඇතිවිය හැක. දින 2ත් 5ත් අතර තද උණ ගතියක් ඇතිවිය හැකි අතර අවසාන වශයෙන් හුස්ම ගැනීමේ අපහසුතා ඇතිවේ. මෙසේ හුස්ම ගැනීමේ අපහසුතා ඇතිවන්නේ වෛරසය පෙනහළු වලට පැතිරීමෙන් පසුව ඇතිවන නියුමෝනියා තත්ත්වයත් සමගය. නියුමෝනියාවේදී හුස්ම ගැනීමට අපහසු වන්නේ පෙනහළු වලට තරල පිරිම නිසා ආශ්වාස ප්‍රස්වාශ කිරීමේදී ප්‍රසාරණය වීමට නොහැකි වීම නිසාවෙනි. මේ අවස්ථාවේ රෝගියාට හුස්ම ගැනීමට පිටතින් ආධාර ලෙස ඔක්සිජන් ලබාදීමට අවශ්‍ය වේ.

බොහෝවිට අසාධ්‍ය තත්ත්වයට පත්වන රෝගීන් කාණ්ඩ කිහිපයක් මේ වන විට හදුනාගෙන ඇත. වයස අවුරුදු 60කට වැඩි වැඩිහිටියන් සහ දියවැඩියාව, අධි රුධිර පීඩනය, අධි කොලෙස්ටරෝල් තත්ත්ව පවතින අය, මෙයට අයත්වේ. සියයට අසූවකට ආසන්න රෝගීන් ප්‍රමාණයකට මෙය සාමාන්‍ය රෝග තත්ත්වයක් ලෙස ඇතිවී සති දෙකකින් පමණ සුවවේ. මරණ ප්‍රතිශතය සියයට 3කට ආසන්න වේ.

රෝගීන්ගේ රෝග ඉතිහාසය විමසන විට බොහෝවිට මෑත කාලයේදී රෝගීන් සමග සමීපව ඇසුරු කල අය, සංචාරක ව්‍යාපාරයේ නියැලුණු අය, විදේශිකයින් සමග ඇසුරු පැවැත්වූ අය, රෝගියාගේ පවුලේ අයවලුන් ට මෙය වැඩි වශයෙන් වැළදී ඇත. එක රෝගියෙකුගෙන් මෙම රෝගය තවත් 4 දෙනෙකුට බෝවීමේ අවධානමක් පවතින බව දැනට සොයාගෙන ඇත.

රෝගීන් තහවුරු කිරීම සිදු කරනු ලබන්නේ උගුරෙන් ලබාගන්නා සෙම සාම්පලයක් පරික්ෂා කිරීම මගිනි. මෙහිදී PCR (පොලිමරේස් දාම ප්‍රතික්‍රියා) පරීක්ෂණයක් මගින් තහවුරු කිරීම කරනු ලබන අතර පරීක්ෂණ ප්‍රතිපල ලැබීම සදහා පැය 6ත් දින 2ත් අතර කාලයක් ගතවේ. වෛරසයේ විවිධ පරිසරවල පැවැත්ම ගැන සැලකු විට සාමාන්‍ය වාතයේ ජල බිදිති ලෙස පැය 3ක පමණ කාලයක් පැවතිය හැකි අතර, කාඩ්බෝඩ් වල පැය 24ක පමණ කාලයක් පැවතිය හැක. ප්ලාස්ටික් වල සහ ලෝහ ප්‍රෂ්ඨ වල දින 3ත් 5ත් අතර කාලයක් පැවතිය හැක.

රෝගය සදහා තවම නිශ්චිත ඖෂධයක් සොයාගෙන නැති අතර එය පරීක්ෂණ මට්ටමේ පවතී. රෝගීන් රෝහල් ගත කල යුතු අතර පැතිර යාමේ අවධානම වැඩි නිසා තනි තනි ව ප්‍රතිකාර කිරීම සිදුවේ. මෙහිදී දිනපතා රෝගියාගේ තත්ත්වය පරික්ෂා කිරීම සහ රෝගියාගේ සිරුරට අවශ්‍ය විවේකය ලබාදීම, නියමිත ආකාරයෙන් තරල සහ ආහාර ලබාදීම සිදුවේ. එහිදී රෝගියාගේ සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින්ම වෛරසය සදහා ප්‍රතිදේහ නිපදවා වෛරසය විනාශ කිරීම සිදුවන අතර දින 14ක් වැනි කාලයකදී සුවවීම සිදුවේ. අසාධ්‍ය රෝගීන් සදහා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර කිරීම සිදුවේ.

රෝගය වැලැක්වීමට පහත සදහන් පිළිවෙත් අනුගමනය කිරීම වැදගත්ය.

  1. ඔබගේ දෑත නිතර සබන් යොදා හොදින් සෝදන්න. මෙහිදී තත්ත්පර 20ක පමණ කාලයක් සේදීම සිදු කිරීම සහ දිනකට 7 වතාවක් වත් සේදීම වැදගත්ය. ඇල්කොහොල් අඩංගු සනීපාරක්ෂක භාවිතා කිරීම ඉතා සුදුසුය.
  2. නොසේදු අත්වලින් ඔබේ නාසය, මුඛය සහ ඇස කණ ස්පර්ශ කිරීමෙන් වලකින්න.
  3. අන් අය සමග ගනුදෙනු කිරීමේදී සෑම විටම මීටරයක නැත්නම් අඩි 3කවත් පරතරයක් තබාගන්න.
  4. කිවිසුම් යවනවිට එය ඔබේ වැලමිටට හෝ ටිෂු කොළයකට ලබාගන්න.
  5. පිරිස් ගැවසෙන තැන්වලට යාම හැකිතාක් අවම කරන්න. නිවසේ සිටින තාක් ඔබ ආරක්‍ෂිත වේ.
  6. ඔබට ස්වසන පද්ධතිය ආශ්‍රිත අසනීපයක් පවතිනවානම් මුඛ ආවරණයක් පළදින්න.
  7. පැය 7ක පමණ හොද නින්දක් ලබන්න.
  8. හැකි සෑම විටම උණුසුම් ජලය පානය කරන්න.
  9. ඔබට රෝග ලක්ෂණ පවතිනවානම් හැකි ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමුවන්න.