නිහඬව ඔබේ පෙනීම සොරා ගන්නා ග්ලුකෝමාව (Glaucoma)

නිහඬව ඔබේ පෙනීම සොරා ගන්නා ග්ලුකෝමාව (Glaucoma)

පුද්ගලයෙකුට ඇතැම්විට යමක් දෙස බැලීමේදී එහි එක් ප්‍රදේශයක හෝ එක පැත්තක යම් අදුරු හෝ අපැහැදිලි බවක් දැනෙන අවස්ථා තිබේ. ඇතැම්විට ඒ අපැහැදිලි ප්‍රදේශය නැවත පැහැදිලිව පෙනේ. එසේ වන්නේ අපැහැදිලි නිසා එය පැහැදිලි කරගැනීමට  හිස හරවා බැලීමේදීය. මෙවැනි අවස්ථා වරින්වර ඇති විය හැකිය.

  මේ හැර වයස්ගතවූ අයගේ දුර පෙනීම නිරීක්ෂණය කිරීමේදී ක්‍රමානුකූලව පර්යන්ත ප්‍රදේශයේ  පෙනීම දුර්වල වී ටියුබයක් හෝ නලයක් තුළින් දක්නට ලබෙන සේ පෙනීමේ වෙනසක් අත්දැක  තිබිය හැකිය. මෙම වෙනස්කම් ඇති වන්නේ ඇයිදැයි කෙනෙකු නොසිතයි. එහෙත් මෙවැනි ලක්ෂණ  පහල වුවහොත් ඒ ගැන නොසලකා සිටීම භයානකය. එනිසාම මෙවැනි  පෙනුමේ වෙනස්කම් ඇතිවන විට ඔබ සැළකිළිමත් වියයුතුය. මෙවනි වෙනස්කම් ග්ලුකෝමා නම් අක්ෂි  රෝගයට ගොදුරු වීමෙන් ඇති විය හැකිය. මෙවැනි තත්වයක් නොසලකා නොහැර පමා නොකර සුදුසුකම්ලත් වෛද්‍යවරයෙක් වෙත ගොස් ඇස් පරීක්ෂා කරගැනීම අවශ්‍යය.   

ග්ලුකෝමා යනු කුමක්ද?

ග්ලුකෝමා යනු සංකීර්ණ අක්ෂි රෝග කිහිපයක එකතුවකි. මෙය ඇස අභ්‍යයන්තරයේ ඇති පීඩනය වැඩිවීම නිසා ඇතිවන අතර එමගින් ඇස තුල ඇති වැදගත් ස්නායු හා ස්නායු තන්තු වලට හානි සිදුවේ. එමගින් ඇසේ සිට මොලයට  සංවේදන ගෙනයන දෘෂ්ටික ස්නායුවට (optic nerve) හානි සිදුවීම නිසා ඇසේ සිට මොලයට පණිවිඩ ගෙනයාම නිසිලෙස සිදුනොවේ. එනිසා එම පුද්ගලයා අන්ධභාවයට පත්වේ. 

මෙම තත්වය හදුනාගන්නේ කෙසේද?

 වරින්වර ඇතිවන හිසරදය, වමනය, ඔක්කාරය සහ තද දීප්තිමත් ආලෝකය දෙස බැලීමේදී එය වටා රශ්මී කදම්භයක් මෙන් ආලෝකය පැතීරීයන අයුරින් දිස්වීමද මෙම රෝගයේ රෝග ලක්ෂණ වේ. රෝග ලක්ෂණ කලින්ම හදුනාගතහොත් එයින් ඇසට ඇතිවන සංකූලතා හැකිතාක් අවම කර පෙනීම යථාපරිදි පවත්වාගෙන යාමට හැකිවීම මෙමරෝගයේ ඇති වැදගත්ම ලක්ෂණයයි. 

මෙම රෝග තත්වය ඇතිවන්නේ කෙසේද

ඇස අභ්‍යයන්තරයේ ඇතැම් අවයව මගින් නිරතුරුව නිපදවන ශ්‍රාවයක් මගින් ඇස තුල පීඩනය නියමිත ප්‍රශස්ථ මට්ටමින් පවත්වාගෙන යයි. ඇසේ කාචයට පිටතින් නිපදවන අම්මය රසය (Aqueous humour) නම් ශ්‍රාවයක් මගින් ඇසේ කාචයට පිටතින් පිහිටි කොටසේ පීඩනය පවත්වාගෙන යයි.  

මීට අමතරව යම් යාන්ත්‍රණයක් ඔස්සේ වැඩිපුර නිපදවන එම ශ්‍රාවය පිටතට යැවීම මගින් වැඩිපුර තරලය එකතු වීම වලක්වයි. එවිට ඇසේ පීඩනය නිසි ලෙස පවත්වාගෙන යා හැකිය.

එහෙත් ඉහත ස්වාභාවික ක්‍රියාවලියට යම් ගැටලු ඇතිවන අවස්ථා තිබේ. ඇසේ නිපදවන මෙම තරලය පිටතට බැහැර කිරීමේ හෝ ශ්‍රාවය කිරීමේ ක්‍රියාවලියේ යම් අවහිරතාවයක්  ඇති වුවහොත් එයින් ඇස තුල පීඩනය වැඩි වේ.එයින් ඇස තුල ස්නායු හා අනෙක් පටකයන්ට හානි සිදු වේ. ‘ග්ලුකෝමා’ රෝගය ලෙස අප හදුන්වන්නේ මෙම තත්වයයි.

මෙම රෝගය පිළිබඳව දැනුවත් වීමේ ඇති වැදගත්කම කුමක්ද?

 මෙම රෝගයේ ඇති භයානකම තත්වය වන්නේ බොහෝ රෝගීන්ට රෝගයේ මුල් අවස්ථාවේදී පෙනීම සම්බන්ධයෙන් කිසිදු අපහසුතාවයක් හෝ රෝග ලක්ෂණයක් ඇති නොවීමයි. මෙය ඉතා අවාසනාවන්ත තත්වයකි. එයින් සිදු වන්නේ රෝගියාට නොදැනෙන  ලෙසට අක්ෂි පීඩනය වැඩි වී ඇසේ දෘෂ්ටික ස්නායුවට හානි සිදු වීමයි. මෙම රෝගය බොහෝදුරට සොයාගන්නේ ඇසේ පෙනුම බොහෝදුරට අඩු වූ පසුවයි.  

මෙම රෝගයට ඇති ප්‍රතිකාර මොනවාද?

 නවීන වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම මගින් ග්ලුකෝමා රෝගය සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට අද හැකියාව ලැබී තිබේ. එහෙත් අවාසනාවකට මෙය සුව කල හැකි රෝගයක් නොවේ. එහෙත් ඇස අභ්‍යයන්තරයේ  පීඩනය පාලනය කිරීම මගින් දිගටම දෘෂ්ටික ස්නායුවලට සිදුවන හානි අවම කරගත හැකිය. එහෙත් මෙම රෝගයට ගොදුරුවීමෙන් අක්ෂි  පීඩනය නිසා දෘෂ්ටික ස්නායුවට සිදුවන හානිය නැවත යථා තත්වයට පත් කල නොහැක.

මෙම රෝගයට ලබාදෙන ඖෂධ හා ශල්‍ය ප්‍රතිකාර මඟින්ද ඊට අමතරව ලේසර් ප්‍රතිකාර මඟින්ද ඇසේ පීඩනය ප්‍රශස්ථ මට්ටමින් පාලනය කිරීමට හැකිය.එමගින් දෘෂ්ටික ස්නායුවට වන හානිය වලක්වා ගත හැකි අතර ඇසේ පර්යන්ත දෘෂ්ටියට හා පැති දෘෂ්ටියට වන හානිය පාලනය කරගත හැකිය.

 මේ නිසා මෙම රෝගය ගැන බොහෝ දෙනා බියට පත් වූවත් රෝගය මුල් අවස්ථාවේදීම හඳුනාගැනීම, ඊට අදාළ නියමිත ප්‍රතිකාර ක්‍රම නොකඩවා පිළිපැදීම හා දියුණු රටවල භාවිතා කරන දෘෂ්ඨි පුනරුත්තාපන සේවා මගින් රෝගයෙන් වන භයානක අතුරු ආබාධ  පහසුවෙන් වළක්වා ගත හැකිය.එසේ පාලනය කිරීමෙන් රෝගියාට තෘප්තිමත් ජීවිතයක් ගත කිරීමේ අවස්ථාව උදා වේ. 

රෝගය මුල් අවස්ථාවේ හඳුනාගන්නේ කෙසේද?

දැනට දියුණු රටවල වයස අවුරුදු විසිපහ වූ පසු සම්පූර්ණ දෘෂ්ඨි පරීක්ෂාවක්  කරගැනීම අනිවාර්ය කර තිබේ. එයින් ඇසේ පෙනුම, පීඩනය මැනීම , දෘෂ්ඨි ක්ෂේත්‍ර පරීක්ෂාව යන සරල පරීක්ෂා සිදු කර බලයි. එහිදී යම් අසාමාන්‍යතාවක් තිබේ නම් ඒ සඳහා වඩා  සංකීර්ණ පරීක්ෂණ කිරීමට සලස්වයි. එය දියුණු රටවල මෙන්ම අපේ රටේද සිදු කරනු ලැබේ. 

අප රට තුල මෙම රෝගය වැළඳීමට ඇති අවදානම කෙසේද?

මෙම රෝගය අද ලොව පුරා සීඝ්‍රයෙන් අවධානය යොමු කරන රෝගයක් වී තිබේ. එසේම අපේ රටේත් මෙම රෝගය ගැන විශේෂ අවධානයක් යොමු කර ඇත.අප රටේ අන්ධභාවයට පත්වන රෝගීන්ගේ දෙවැනි ප්‍රධාන හේතුව ග්ලුකෝමා රෝගයයි.අපේ රටේද මෙම රෝගය ශීඝ්‍රයෙන් වැඩි වී යන බව පැහැදිලිය. මෙය වාර්ෂිකව 0.7% කින් පමණ වැඩිවීමකි.එම නිසා අප මෙම රෝගය පිළිබඳව දැනුවත්වීමවැදගත්ය.

වෛද්‍ය මාලින්ද ද සිල්වා MBBS (Colombo)